ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධූරයට ජයන්ත සමරවීර මහතා පත්විය.
ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පත්විය.
සංසදයේ උපසභාපති ලෙස සිසිර ජයකොඩි මහතා පත් කරන ලද්දේ ගාමිණි වලේබොඩ සහ විමල් වීරවංශ යන මහත්වරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙන් වන අතර, චන්න ජයසුමන මහතා පත් කරන ලද්දේ උදය ගම්මන්පිළ සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ ගේ යෝජනා සිථිරත්වයෙනි.
මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ දැනට පවතින ජාතික උරුමයන් නිසි පරිදි සංරක්ෂණය නොවීමත්, ජාතික උරුමයන් ලෙස නම් කළ යුතු ස්ථාන ගණනාවක් රට තුල තවමත් පවතින බවත් ඒවා සංරක්ෂණය නොවීම ජාතික ගැටළුවක් බවට පත්වී ඇති බවයි. මේ නිසා සංසදයේ සියළු මන්ත්‍රීවරයන් එක්වී මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට බලා පොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
සංසදයේ උපසභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ ජාතික උරුමයන් ලෙස සැලකෙන්නේ භෞතික ස්ථාන පමණක් නොවන බව සහ පාරම්පරික ශාස්ත්‍රීය දැනුම, වෙදකම්, විවිධ ශාන්තිකර්ම, ගුප්ත විද්‍යා ශාස්ත්‍රය ආදියද ජාතික උරුමයන් ලෙස සලකා ආරක්ෂා කළ යුතු බවයි.
උපසභාපති (මහාචාර්ය) චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් සොයාගත් තවමත් පරිශිලනය නොකළ ශිලා ලිපි 600ක් පමණ ඇති බවයි. මහාචාර්ය සෙනරත් පරණවිතානට පසු මෙම ශිලා ලිපි තේරුම් ගැනීමට මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා විශාල උත්සහයක් ගත් බවත් එනමුත් තවත් විශාල ප්‍රමාණයක් ඉතිරිවී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ජාතික උරුමයන් නිසි ලෙස සංරක්ෂණය කොට සංචාරක ආකර්ශනය ලබා ගත හැකි ස්ථාන ලෙස සංවර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික උරුමයන් සියළු ජාතින්ට අයත් වන බවත් ජාතික උරුමයන් යනු සියළු ජාතින් තුළ සිය මාතෘභූමිය පිළිබඳ අභිමානයක් ඇති කරන්නක් බවත් මෙහිදී අවධාරණය විය. එයට අමතරව ජාතික උරුමයන් පිළිබඳ කටයුතු කිරිම සඳහා පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන පොලිස් විශේෂ අංශයක් තිබිය යුතු බවටද මෙහිදී අදහස් පළ විය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයන් සඳහන් කළේ වැනසී යමින් පවතින සහ තර්ජනයට ලක්ව ඇති ජාතික උරුමයන් පිළිබඳ කටයුතු කිරීම සඳහා අනු කමිටුවක් පත් කිරීම සුදුසු බවයි. මෙවැනි ස්ථාන උතුරේ මෙන්ම දකුණේද පවතින බවත් මෙම ජාතික උරුමයන් සංරක්ෂණය කිරිම සඳහා ජාත්‍යන්තර සහයෝගය සහ දෙස් විදෙස් විද්වතුන්ගේ සහය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සංසදයේ කටයුතු විධිමත්ව ගෙනයාම සඳහා නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙලක් සකස් කිරීමටත් සංසදයේ කටයුතු පහසු කර ගැනීම පිණිස අනු කමිටු කිහිපයක් පත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.