සීනි බදු වංචාවේ පාඩුව අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කමිටුව ප්‍රශ්න කරයි

August 14, 2023

පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.

මෙම කරුණ මතු වූයේ පසුගියදා (08) පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීය. එහි සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එදින කාරක සභාව රැස්විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ එහි ප්‍රගතිය පිළිබඳව තමන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවත්, නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදුකරන බවයි.

අනතුරුව කාරක සභාව විමසා සිටියේ අදාළ පාර්ශ්ව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් පියවරක් ගත හැකිද යන්නයි. ඒ අනුව හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් කමිටුව දැනුවත් කරන ලෙස කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

t

o

p