මතු පරපුරට අවාසනාවන්ත යුගයකට මුහුණ නොදෙන්න ආර්ථිකය ශක්තිමත් කරමු

August 14, 2023

පසුගිය සමයේ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදු වූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත්, අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගිය හොත් තවත් වසර 10කින් පමණ රට නැවත ආර්ථික අභියෝගයකට ලක් වීම නොවැළැක්විය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මාතලේ සාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150 වැනි සංවත්සර උත්සවයට ඊයේ (13) පෙරවරුවේ එක් වෙමිනි.

දිවංගත විජයානන්ද දහනායක මහතාගෙන් පසු මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයකු පැමිණි ප්‍රථම අවස්ථාව සලකුණු කරමින් විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කර, විද්‍යාල පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමි කරගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. වසර කිහිපයක් ගත වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ආර්ථිකය කඩාවැටී ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා. අනතුරුව වසර 15-20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරන තුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි භෝග ලෙස තේ වගාවත්, රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වුණා.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා. මේ අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම භාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම එයට හොද උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාරගන්න පෝලිමේ එනවා. එහෙත් ඒ අවස්ථාවේ කිසිවකුත් ඉදිරිපත් වුණේ නැහැ. එවැනි පසුබිමක මා ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා. අප ගත් තීන්දු තිරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල අප ගත් තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.

මේ වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගනිමින් රට බංකොලොත් භාවයෙන් නිදහස් කරගැනීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. එහෙත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගන්නා පියවර නිසා ‘බංකොලොත්‘ ලේබලය ඉවත් කරගන්න හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළඟ පියවර නොගත හොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොලොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.

“දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රශ්නය. එහෙත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9%ක පොලියක් දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ නතර කිරීමට කිසිඳු හේතුවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවෙයි. මීට අදාළව ගොනු කළ සියලු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“මෙරට ආර්ථිකය දියුණු කිරීමට නම් විදේශ විනිමය ලෙස වසරකට ඩොලර් බිලියනයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. පළමුව කළයුතුව තිබෙන්නේ දැනට තිබෙන ක්ෂේත්‍රවලින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීමයි. අප ආයෝජකයන් ගෙන්වා ගත යුතුයි වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දිය යුතුයි. ඒ සඳහා වරාය නගරය වැනි අලුත් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දැනුම සමඟ ඉදිරි වසර 10දී අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එම වේගය අනුව තමයි අප සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය වන්නේ. ඒ වගේම රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7,500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල මඟින් බිහි විය යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයටද විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි. අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීම වෙනවා. ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිවයුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.

“මීට පෙර 1978දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහකොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේද ඒ ආකාරයටයි. ඒ වගේම ආයෝජන සදහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයද ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මේ මාතලේ දිස්ත්‍රික්කයද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල ලෙස දායක කරගැනීමේ හැකියාවක් තිබෙනවා. තවද කෘෂිකර්මාන්තය නවිකරණය සඳහා කෘෂි නවීකරණ වැඩසටහනක් ඊළග මාස දෙක තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. වී වගාවේ හෝ අනෙකුත් භෝග වගාවන් තුළ දැනට සිදු කෙරෙන නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිෂ්පාදන ඉහළ නංවාගත යුතුයි.

ඒ වගේම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමඟින් අපේක්ෂා කරන අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිව යුතුයි.“

අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අගමැති ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යූ. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞශල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරු, මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p