අමෙරිකාවෙන් කෝටි 429ක පිළිකා ඔසු තිළිණයක්

August 12, 2023

‍මෙරට සෞඛ්‍ය පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට රුපියල් කෝටි 429ක (ඩොලර් මිලියන 12.8) පිළිකා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින පිළිකා ඖෂධ හිඟයට පිළිතුරක් වශයෙන්, හදිසි ඖෂධ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කරන ලෙස අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා Heart to Heart International (HHI) ආයතනය වෙතින් ඉල්ලීමක් කර තිබෙන අතර, ඊට ප්‍රතිචාර වශයෙන් මේ ඖෂධ තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මේ නවතම පරිත්‍යාගයට Sunitinib Malate නමැති ඖෂධය ඇතුළත් වන අතර, එය ඇතැම් පිළිකා වර්ග (වකුගඩු, අග්න්‍යාශය සහ බඩවැල්) සඳහා භාවිත කරන oncology ඖෂධයක් බව එම තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් පහසුකම් සපයන ලද මේ පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදු වියදමකින් තොරව සැපයීමට පියවර ගෙන තිබෙන අතර, එය හෙට (13) කොළඹට ළඟා වීමට නියමිතය.

වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුළු ගැන්වීමෙන් HHI ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දක්වයි. මේ සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර, එය Philanthropy 400 යටතේද නම් කර තිබේ.

t

o

p