වාහන 400ක් හොරට ලියාපදිංචි කරලා

August 11, 2023

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ සේවයේ නිරතව සිටින ලිපිකරුවකු සතුව තිබී කොටස් එකලස් කර නීති විරෝධි ආකාරයට ලියාපදිංචි කර ඇතැයි සැක කරනු ලබන සුඛෝපභෝගි මොන්ටේරෝ ජීප් රථයක් පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබීය.

මේ මෝටර් රථය සොයාගෙන ඇත්තේ නීති විරෝධි ලෙස මෙරටට හොර රහසේ රැගෙන විත් ඇති මෝටර් රථ සහ කොටස් එකලස් කර නීති විරෝධිව ලියාපදිංචි කර ධාවනය කරන වාහන සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් භාරයට ගනු ලැබුවේ ජීප් රථය පමණක් බවද එම නිලධාරියා පැවසීය. ජීප් රථය මෙරටට නීත්‍යනුකූලව ආනයනය කර ලියාපදිංචි කර තිබේදැයි සොයා බැලීමට විමර්ශනයක් පැවැත්වෙන බවත්, එම විමර්ශනයට අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් එම නිලධාරියා පැවසීය.

මෙම ජිප් රථය මොන්ටෙරෝ වර්ගයේ එකක් බවත්, රුපියල් කෝටි 2ක් පමණ වටිනාකමක් ඇති බවත් එම නිලධාරියා කීය.

කොටස් එකලස් කර වාහන සකස් කරන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු මෙයට මාසයකට පමණ පෙර කඩවතදී අත්අඩංගුවට ගත් බවත්, ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරයේ සිටින බවත් මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කළේය. එම ජාවාරම්කරු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නිලධාරියා අතර දුරකතන ඇමතුම් 250ක් පමණ හුවමාරු වී තිබී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වූ බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

කඩවතදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී කොටස් එකලස් කරන ලද වාහනවලට සහ ධාවනයෙන් ඉවත් කරන ලද වාහන 400කට පමණ කූට ලේඛන සකසා මෝටර්රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර සැකකාර ලේඛනාගාරයේ ප්‍රධාන ලිපිකරු ලවා ලියාපදිංචි කර විකුණා ඇති බවට සැක කරන තොරතුරු අනාවරණය වූ බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

t

o

p