ව්‍යාපාර පහසු කිරීමට නව නීතියක්

July 31, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ ආයෝජන සඳහා හිතකර පසුබිමක් රටේ නිර්මාණය කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සදහන් කරයි.

රටේ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කරමින් රට තුළ ව්‍යාපාර පහසු කිරීමේ නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් එසේ නොමැතිව ඉලක්කගත වැඩපිළිවෙළට යාමට හැකියාවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ තවදුරටත් සදහන් කළේ,

” ව්‍යාපාර පහසුකම් ඉහළ දැමීමේ දර්ශකය ලෝකයේ තිබෙන විවිධ දර්ශක අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. නමුත් අද අප සිටින්නේ එහි 99වන ස්ථානයේ. නිශ්චිත නිර්දේශ නොමැතිකම, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර තිබෙන ගැටලු, නීති රෙගුලාසි යල් පැනගොස් තිබීම මෙම තත්ත්වයට හේතු ලෙස අප හඳුනාගෙන තිබෙනවා.

මෙම ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබාදෙමින් වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට ජනාධිපතිතුමා අපට පූර්ණ නිදහස ලබා දි තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ද මේ වන විට ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තුව විසින් ලබාදෙන අදාළ නිර්දේශ කඩිනමින්, මධ්‍ය කාලීනව සහ දිගුකාලීනව ක්‍රියාත්මක කිරීම එම කාර්ය සාධක බලකාය මඟින් සිදු කරනවා.

කුමන වර්ගයකට අයත් වුවත් රටේ ක්‍රියාත්මක සියලු සමාගම් එක් පද්ධතියක් තුළ ලියාපදිංචි කිරීම, සෑම සමාගමක් විසින්ම දත්ත හා තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම සහ ඒවා එක් දත්ත පද්ධතියක් යටතට ගැනීම වැනි වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් (30) පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මේ බව සදහන් කරයි.

t

o

p