ජනපති පදවිප්‍රාප්තියට වසරයි

July 20, 2023

මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට භාර ගෙන මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කොට රට සාමාන්‍යකරණයකට පත් කර තිබෙන හෙයින් පදවි ප්‍රාප්ති උත්සව සංවිධානය කළ යුතු යැයි නොයෙක් පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවි ප්‍රාප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි ජනාධිපතිවරයා නියෝග කොට ඇත.

පදවි ප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම විශේෂත්වයකි. 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් එවකට වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් විය. ජූලි 21 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී දිව්රුම් දුන්නේය.

අදාළ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබුණු අතර ජනපති ධුරය සඳහා තරග වැදුණු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් ද අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03ක් ද ලැබිණි. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයේ ඉතිරි ධුර කාලය දැරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුකම් ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස 2021 වර්ෂයේ ජුනි මස 23 වැනි දින 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2022 වසරේ මැයි 09 දා එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් අගමැති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ කිසිවකු ඉදිරිපත් නොවූ මොහොතක රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාර ගනිමින් එවකට රටේ ඇතිව තිබූ අර්බුදවලට විසඳුම් සොයමින්, ශ්‍රී ලාංකේය ජනතාවට සේවය කිරීමට ප්‍රතිඥා දෙමින් මැයි 12 දා අගමැති ධුරයේ වගකීම භාර ගත්තේය.

එම වසරේ ජූලි 14 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ අතර අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජූලි 15 දා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය. ඉන් අනතුරුව ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තේරී පත් විය. ඒ අවස්ථාවේදී පැවති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ රටවලින් සහයෝගය පළ වී තිබේ.

t

o

p