ගොවීන්ට තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ලබා දීමට කටයුතු කරයි

July 16, 2023

එළැඹෙන 2023/24 මහ කන්නයේ දී තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම කාරණය සම්බන්ධව මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා පොලොන්නරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී එම දිස්ත්‍රික්කයේ තරුණ ගොවීන්ට නව කෘෂි තාක්ෂණික උපකරණ පිරිනමමින් මෙම අදහස් පැවසීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති විසින් මෙම උපකරණ ලබා දීම සිදු විය.

මෙවර යල කන්නයේ දී වගා කන්න තුනකට පසු ගොවි ජනතාවට මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර ( TSP- Triple Super Phosphate) නොමිලයේ ගොවීන්ට ලබා දීමට රජය පියවර ගත්තේය. ඒ යට‌තේ පසුගිය මහ කන්නයේ දී කුඹුරු වගා කළ සියලු දෙනාට මෙවර යල කන්නයේ වී වගා කළත්, නොකළත් මෙම TSP පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගත්තේය.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීම ඉළක්ක කර ගනිමින් රජය විසින් මෙම සහන සළසනු ලබයි. පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මෙන්ම මෙවර යල කන්නයේ දී ද පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවීන්ට සහනාධාරයක් වශයෙන් රජය ගොවීන්ට ලබා දුන්නේය.

t

o

p