දරුවන් අතර සරම්ප රෝගී තත්වයක්

July 12, 2023

මේ දිනවල දරුවන් අතර සරම්ප රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරු පවසති.
අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ, ඊයේ දිනය වනවිට දරුවන් 12කට එම රෝගී තත්ත්වය වාර්තා වු බවය.

මෙම රෝගයේ ලක්ෂණ ලෙස උණ හා රතුලප ඇති වීම විශේෂයෙන් හඳුනාගත හැකි බව ද පැවසු වෛද්‍යවරයා, මෙම රෝගයේ ඇති භයානකත්වය පිළිබඳ ජනතාව නිසි දැනුවත් වීමක් නොමැති බව ද පැවසීය.

“මේක හැදුනෙම පොඩිකාලේ ප්‍රතිශක්තිකරණය ගත්තේ නැති අයට. ඒ නිසා මේ රෝගයට ප්‍රතිශක්තිකරණයක් විදියට MMR එන්නත මාස 9 යේදී හා අවුරුදු 3 දී නොමිලේ ලබාදෙනවා. ඒක ලබාගන්න හැමෝම කටයුතු කරනවා නම් මේක හැදෙන්නේ නෑ. ඒත් කලාතුරකින් ප්‍රතිශක්තිකරණ එන්නත ගත්ත අයටත් හැදෙන්න පුළුවන්. මේ වෙලාවේ එහෙම ගත්තේ නැති අයට රෝගය ව්‍යාප්ත වෙනවා. මේකේ අතුරු ආබාධ විදියට සමහර වෙලාවට පාචන තත්ත්වයන්, මන්ද පෝෂණ තත්ත්වයන්, දීර්ඝ කාලීනව කාලයක් ගිහින් මොළයට බලපෑම් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට සරම්ප වෙනුවෙන් ලබාදෙන MMR එන්නත ලබාගන්නා ලෙස ඉල්ලනවා.”

මේ අතර පසුගිය වසර කිහිපය තුළ දරුවන් අතර පිළිකා රෝගී තත්ත්වය බහුලව වාර්තා වු බව ද පැවසු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, සෑම වසරකම අවුරුදු 19ට අඩු පිළිකා රෝගී දරුවන් 900කට අධික ප්‍රමාණයක් වාර්තා වන බව ද සඳහන් කළේය.

ඊට අමතරව ළමා දියවැඩියා රෝගී තත්ත්වය ද වසරකට 100ක් පමණ වාර්තා වන බව පැවසු වෛද්‍යවරයා,

එවැනි රෝගී තත්ත්වයන්ගේ වැඩිවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ද කියා සිටියේය.

මෙම රෝගී තත්ත්වයන්ට මුහුණදීම සඳහා දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබාදිය යුතු බවත්, දරුවන් නිරන්තරයෙන් ක්‍රීඩාවට යොමු කළ යුතු බවත් පැවසු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දරුවන් ජංගම දුරකථනයෙන් ඈත්කර තැබීම වඩාත් යෝග්‍ය බව ද පැවසීය.

හැකි තරම් තෙල්, සීනි වැනි දේ දරුවන්ගේ ආහාර සඳහා යොදා නොගන්නේ නම් හෙට දවසේ නිරෝගීමත් දරු පරපුරක් ලබාගත හැකි බව ද වෛද්‍යවරයා කියා සිටියේය.

t

o

p