ජූනි මස හොඳම ක්‍රීඩකයා සම්මානය වනිදුට

July 12, 2023

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් ද මේ සඳහා නිර්දේශ වී තිබු අතර හසරංග අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම සම්මානය දිනා ගත්තේය.

“මෙම සම්මානය ගැන මම අතිශයින් සතුටු වන අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වැදගත් අවස්ථාවක් , අපි ඉන්දියාවේ පැවත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට පිවිසීමෙන් පසුව ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම මට භාග්‍යයක් සහ ගෞරවයක්, ”හසරංග පැවසීය.

තුන් ඉරියව් ක්‍රීඩකයා ජූනි මාසය තුළ එක්දින තරග 10ක දී කඩුලු 26ක් දවාගෙන තිබෙන අතර, පකිස්තානයේ වකාර් යුනුස්ට පසුව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 5 බැගින් දවාගත් ලොව දෙවැනි ක්‍රීඩකයා බවට ද පත් විය.

ඕමානයට සහ අයර්ලන්තයට එරෙහිව කඩුලු 5 බැගින් දවාගැනීම් යුගලයක් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව 6/24 ලබා ගනිමින් අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග 7 කදී කඩුලු 22ක් ලබා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට වනිදුට හැකි විය.

25 හැවිරිදි හසරංග ජූනි මාසය තුළදී පිත්තෙන් ද ලකුණු 91ක් රැස්කරමින් තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත් විය.

t

o

p