ලියාපදිංචි නොමැති පෞද්ගලික වෛද්‍ය ආයතනවලට දැනුම්දීමක්

July 3, 2023

ලියාපදිංචි නොකළ සියලුම පෞද්ගලික වෛද්‍ය ආයතන ලබන සැප්තැම්බර් මස පහළොස්වැනිදාට (15) පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි වියයුතු බවට එම නියාමන සභාව දැනුම් දීමක් කරයි.

2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය පිළිබද පනතෙහි නියමයන් ප්‍රකාරව මෙරට සියලු පෞද්ගලික වෛද්‍ය ආයතන සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි කළ යුතුය.

අදාළ ලියාපදිංචි කිරීම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකරමින් සිදුකළ හැකිය.

එසේ ලියාපදිංචිය සිදුනොකරන සියලුම පෞද්ගලික වෛද්‍ය ආයතනවලට එරෙහිව ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා (01) නඩු පැවරීමට කටයුතු කරන බවද එම නියාමන සභාව දැනුම් දෙයි.

ගතවූ මාස හතරක පමණ කාලය තුළ ලියාපදිංචි කර නොතිබූ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන එක්දහස් පන්සියයක් (1500) පමණ සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි වී තිබේ.

එසේ ලියාපදිංචි වුවද තවත් ලියාපදිංචි නොවූ වෛද්‍ය ආයතන දසදහසක පමණ ප්‍රමාණයක් මෙරට පවතින බව වාර්තා වෙයි.

t

o

p