සබරගමුවේ කසළ කළමනාකරණයට ජපන් සහාය

June 30, 2023

සබරගමුවේ කසළ කළමනාකරණයට ජපානයේ සහාය ලබා ගැනීමට පියවර ගන්නා බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත්දා රත්නපුර පිහිටි පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සබරගමු පළාත් පාලන ආයතන පරිපාලන ප්‍රධානීන් අතර, පළාත් පාලන ආයතනවල කාර්යභාරය පිළිබඳ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

සබරගමු පළාත තුළ රත්නපුර මහ නගර සභාව, බළන්ගොඩ, කෑගල්ල සහ ඇඹිලිපිටිය නගර සභා ද, ප්‍රාදේශීය සභා 25ක් ද ක්‍රියාත්මක වන අතර, ඒවායේ ධුර කාලය 2023 මාර්තු මස 19 වැනිදායින් පසුව අවසන් විය. මේ වන විට සබරගමු පළාතේ පළාත් පාලන ආයතන 29 සියලු පරිපාලන කටයුතු නාගරික කොමසාරිස් සහ ලේකම්වරු විසින් ද සබරගමු පළාත් පාලන කොමසාරිස්ගේ මඟ පෙන්වීම යටතේ ද මේ වන විට සිදු කරයි. ධුර කාලය අවසන් වූ සබරගමුවේ පළාත් පාලන ආයතනවල කාර්යසාධනය ඉටුකිරීම පිළිබඳව කාර්යයන් 27කින් සමන්විත මාර්ගෝපදේශන සංග්‍රහයක් ද සබරගමු පළාත් සභාව මඟින් සම්පාදනය කර පළාතේ සියලු පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇත.

“මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවීන් දිසානායක මහතා මෙසේද පැවසීය. සබරගමුව පළාත් පාලන ආයතන බලධාරීන් ලෙස පත්ව ඇති නිලධාරීන් දිගුකාලීනව රාජ්‍ය සේවයේ නිරත වූ පිරිසක්. ඔවුන් ඍජු සහ කඩිනම් තීන්දු ගෙන සිය වගවීම සහ වගකීම ඉටු කරන්න බැඳී සිටිනවා. රාජ්‍ය සේවය ඔවුන් විසින්ම ගත් තීරණත් ඊට එක්ව තිබෙනවා. දැන් වෙනත් ක්ෂේත්‍රයකට ගොස් ජීවනෝපාය සරි කරන්න කාලයක් නැහැ. ඒ නිසා රාජ්‍ය සේවය තුළ ඉතා කාර්යක්ෂමව, නිවැරැදිව මහජනතාවට සුබසිද්ධිය ඉටු වන ලෙස ක්‍රියාකිරීමට ඔවුන් මැදිහත් විය යුතුයි.

චීනයේ පවතින්නේ එක් දේශපාලන පක්ෂ පාලනයක්. ඔවුන් වසර හයකට වරක් ඡන්දයක් පවත්වා පාලන ව්‍යුහය සකස් කර ගන්නවා. රාජ්‍ය නිලධාරීන් චීනය පාලනය කරනවා. රාජ්‍ය නිලධාරීන් රට පාලනය කළා කියලා චීනය අසාර්ථක රාජ්‍යයක් වී නෑ. අමෙරිකාව පසු කරගෙන යන ආර්ථික වර්ධනයක් චීනය අත්පත් කර ගනිමින් සිටිනවා. ඔවුන් මිලියන 720ක් පසුගිය අවුරුදු 15 තුළ දරිද්‍රතාවයෙන් ඉවත් කිරීමට සමත් වුණත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 21ක් සාර්ථක වී නැති බවද, කසළ කළමනාකරණය, ජල හා විදුලි සැපයුම, නීතිය ඇතුළු මූලික කටයුතුවල මිත්‍රශීලි ප්‍රවේශයකින් යුතුව පළාත් පාලන ආයතන ජනතාව සමඟ කටයුතු කළ යුතු බවද සබරගමුවේ රාජ්‍ය සේවකයන්ට පූර්ණ නිදහස ඒ වෙනුවෙන් ලබා දෙන බවද හොර බොරු නැතිව එය අකුරටම ඉටු කළ යුතු බවද පැවසීය.”

t

o

p