මෙම වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මේ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.
මෙරට ආයෝජන සිදු කිරීමේදී බලපත්‍ර ලබා ගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබදව මන්ත්‍රීවරුන් කරුණු විමසූ අවස්ථාවේදී, ඊට ප්‍රතිචාර දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා යෝජිත නව ආයෝජන පනත පිළිබදව සඳහන් කරයි.
තවද, ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වන මහලේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් (Investor Facilitation Center) ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
එහිදී ආයෝජකයන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද අවස්ථාව සලසා තිබේ.
ආයෝජකයින්ට පවතින ගැටලු කඩිනමින් මෙම මධ්‍යස්ථානය මගින් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන බව ද ඔහු සඳහන් කරයි.
නව නීතිය ක්‍රියාත්මක වනතුරු තාවකාලික වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියි.
එලෙසම, ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමට හැකි ආයෝජන කලාප හඳුනා ගෙන ඇති බවත් ඒවා ප්‍රවර්ධනය කර නව ආයෝජකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
රට තුළට ගෙන එන ආයෝජන පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ආයෝජන සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරිපත් කිරීමේ අත්‍යවශ්‍යතාවද මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී තිබේ.