කටුනායක ප්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර

May 27, 2023

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ.

මේ හේතුවෙන් විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ ගමන් මලු පරීක්ෂා නොකෙරෙන බව රේගු නිලධාරීන් පෙන්වා දෙති.

විදේශ රටවල් රැසක විශේෂ මගී පර්යන්තවල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්තවල ද අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කර තිබේ.

ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුවයි මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ.

t

o

p