ඉසුරුමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් හා එකමුතුව පෙළගැසෙමු

May 5, 2023

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලත් වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ දින දර්ශනයේ වඩාත් වැදගත් දිනයක් වන අතර එය පූජනීය වැදගත්කමකින් යුක්ත වේ.

මෙම දිනය අසිරිමත් සිදුහත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් මංගල්‍යයන් සිහිපත් කරන අතර මනුෂ්‍යත්වය පෙරදැරි කර ගනිමින් හා මෛත්‍රී සංකල්පයෙන් යුතුව දානමය පුණ්‍යකර්මයන් පවත්වමින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ගෞරවය පුද කරන අවස්ථාවකි.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. එබැවින් මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය වේ. බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය (මෙත්තා), කාරුණිකබව (කරුණා), මෘදුබව (මුදිතා) සහ උපේක්ෂා සහගතබව (උපේක්ඛා) යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් අප එම මාර්ගයේ ගමන් කළ යුතු වෙමු.

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස මෙම පිංබර දිනයේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමි.

අවිද්‍යාවේ අඳුර දුරුකර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශිර්වාදයක් වේවා ! යි ප්‍රාර්ථනා කරන අතර සියලු සත්වයෝ සතුටින් පසුවන පිංබර වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශිංසනය කරමි.

රනිල් වික්‍රමසිංහ


මේ අතර කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී පැවති විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද එක් විය.

ඉන් අනතුරුව ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.

විදුලි අලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

දකුණු ආසියානු තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාලවල දායකත්වය සහිතව ඉදි කෙරුණු මෙම වෙසක් කලාපයේ බෞද්ධ උරුමයන් නිරූපණය වන අයුරින් එම රටවල් විසින් ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබිණ.

එම සියලු ප්‍රදර්ශන කුටි වෙත ගිය ජනාධිපතිවරයා එහි බෞද්ධ නිර්මාණ නිරීක්ෂණය කළ අතර එම නිර්මාණකරුවන්ගේ ද තොරතුරු විමසීය.

පාකිස්ථාන බෞද්ධ උරුමයන් පිළිබඳ ප්‍රදර්ශන කුටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි තබා තිබූ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය.

අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මේ අතර බුද්ධ රශ්මි වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සැදැහැවතුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කථා බහක නිරත විය.

කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර, නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බර්කි, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතනන් ජෙනරල් විකුම් ලියනගේ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරු සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p