ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීම ලබන 11 වැනිදා

May 4, 2023

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 9 සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා මැයි 9 වැනිදා පමණක් පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර ඇත.

මැයි 9 අඟහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 8ක්, ආනයන හා අපනයන (පාලන) පනතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වේ.

මැයි 10 බදාදා පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරයා පැවසීය.

මැයි 11 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.
මැයි 12 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති ‘අස්වැසුම’ නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමට ද නියමිත බව ද ධම්මික දසනායක මහතා පැවසීය.

t

o

p