කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

May 4, 2023

හැමදාම ලක්ෂ ගාණක් මිනිස්සු කොළොම්තොටට සේන්දු වෙනවා. ඔය අතරේ ඉන්න සමහර වැදගත් කියන නෝනා මහත්තුරු නිසා තප්පරේ ගාණේ කොළම්තොට අපවිත්‍ර වෙනවා කියන එක අරුම කතාවක් නෙමෙයි. බිමට විසිකරන ෆෝන් කාර්ඩ් එක, ටොෆි කොලේ ඉඳලා දේව හාස්කමකින් අස්පස් වෙනවා කියලයි ඒ බහුතරේ අය හිතන්නේ.

එක අතකට ඒක දේව හාස්කමක් තමයි. පොළොව කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නවා කියල ටී.එම්.ජයරත්න මහත්තයා සිංදුවකිනුත් කියලා තියෙනවනේ. දෙවියෝ හැමතිස්සෙම හැමතැනම ඉන්නවා කියලා කියමනක් තියෙනවා. ඒ දෙවිවරු වගේම තමා මේ පාරවල් අස්පස් කරන මේ දෙවිවරුත්. අවධානෙන් නොබලන නිසා නොදැක්කත් සතිඅන්තයක්, පෝය නිවාඩුවක්, අවුරුද්දක් කියලා නෑ උදේ පාන්දර පහේ ඉඳලා හවස පහ වෙනකල්ම ඒ අය පාරේ ඉන්නවා. වැඩ කරනවා. මොකද ඉතින් දවසකට හරි ඒ උදවිය නැති වුණොත් මහා නස්පැත්තියක්නේ වෙන්නේ.

අපි වෙනුවෙන්, පරිසරය වෙනුවෙන් ඒ සා සේවයක් කරන පරිසර පවිත්‍රතා මිතුරන්ගේ අත්කරත්තෙටයි, ඉදලටයි පහුගිය අප්‍රේල් නවවැනිදා පුංචි පහේ නිවාඩුවක් ගන්න පුළුවන් වුණා. ඒ දෙරණයි, ගැස්මයි, මැලිබන් ආයතනයයි එක්කාසු වෙලා අපේ පරිසර පවිත්‍රතා මිතුරන් වෙනුවෙන්ම සංවිධානය කළ ‘අපේ අවුරුදු උත්සවය’ නිසයි.

පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගනේ තිබුණු ‘අපේ අවුරුදු උත්සවය’ බොහොම විනෝදයි වගේම විශේෂයි. බොහොම ලස්සන හිනා මනාවලින් ‘ධරණී’ සුන්දර කරන්නේ මේ අවුරුදු උත්සවයෙදී ජයග්‍රහණය කරාපු අවුරුදු කුමාරියෝයි. අද ‘ධරණී’ කවරය හැඩ කරන ඒ අවුරුදු කුමාරියෝ තුන්දෙනා ඒ අයගේ ජයග්‍රහණ ගැන අපිත් එක්ක කිව්වේ මෙහෙම කතා.

‘අපේ අවුරුදු උත්සවේ’ අවුරුදු කුමාරිය වුණේ බොරැල්ලේ පුණ්‍යා කුමාරි. හැමෝම පරාද කරලා සුන්දරම කුමරිය වෙන්න ලැබිච්චි එක ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්.

“මට දැන් 48යි. මම අතු ගාන්නේ කොළඹ ග්‍රීන් පාර්ක් එක හරිය. සර්විස් එකට අවුරුදු 5යි. දෙරණෙන් අවුරුදු උත්සවයක් කරනවය, ඒකේ අවුරුදු කුමාරිට ලැහැස්ති වෙලා එන්න කියලා අපේ සුපවයිසර් මහත්තුරු මට කිව්වා. මාත් ලස්සනට රෙද්ද හැට්ටේ ඇඳලා ගියා. ‘අපේ අවුරුදු උත්සවේ’ අවුරුදු කුමාරිය වෙයි කියලා හිතුවේ නැතත් ජයග්‍රහණයක් ලැබෙයි කියලා නම් හිතුවා. ඉතින් පළවැනි තැන ගන්න ලැබුණු එක ගැන හරිම සතුටුයි. අපි වෙනුවෙන් මෙහෙම දෙයක් සංවිධානය කළ හැමෝටමත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.”

කතාව අතරෙදි පුණ්‍යා ඔවුන් සේවය කරන ‘ක්ලීන් ටෙක්’ ආයනතනයේ මහත්වරුන්ගේ සහාය ගැනත් මතක් කළා. ඊගාවට අපි දෙවැනි ස්ථානය දිනාපු අවුරුදු කුමාරිට කතා කළා. ඇය අන්තෝනි අන්නමේරි.

“මගේ වයස 53යි. කුරුඳුවත්තේ කේම්බ්‍රිජ් පාර අතුගාන්නේ. මම මේ ජොබ් එක කරන්න අරන් දැන් අවුරුදු අටක් වෙනවා. හැබැයි ඒ අවුරුදු අට පුරාවටම එදා අවුරුදු උත්සවය වගේ සතුටු වුණ දවසක් මතක නැහැ. එදා අපි හැමෝම නැටුවා, සෙල්ලම් කළා, සතුටු වුණා. අවුරුදු කුමාරි තරඟෙට ඉදිරිපත් වුණේ නිකමට. දිනයි කියලා නම් හිතුවෙම නැහැ. ඒත් මම දෙවැනියා වුණා. දින්නයින් පස්සේ හැමෝම මගේ ළඟට ඇවිල්ලා සුබ පැතුවා. මට හරිම සතුටුයි. අපි වෙනුවෙන් මෙහෙම අවුරුදු උත්සවයක් සංවිධානය කළ එකට ස්තූතියි.”

තුන්වැනි තැන දිනුවේ මෝදර පදිංචි ලෝචනා මහේන්ද්‍රන්.

“මට අවුරුදු 29යි. ගංගාරාම පෙරහර මාවත පැත්ත තමයි මම අතුගාන්නේ. මේ ජොබ් එක කරන්න අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. අවුරුදු උත්සවය තියන්න සතියකට කලින් දෙරණෙන් මෙහෙම අවුරුදු උත්සවයක් තියනවා කියලා අපේ ඔෆිස් එකේ මහත්තුරු අපිට කිව්වා. ඒත් ඇත්තටම මෙහෙම අවුරුදු උත්සවයක් තියයි කියලා අපි හිතුවෙ නෑ. ඉතින් අපි හැමෝටම හරි සතුටුයි. අවුරුදු කුමාරි තරඟෙට කලින් මම තව තරඟ දෙකකට ඉදිරිපත් වුණා. එව්වගෙන් නම් දිනුවේ නැහැ. ඔය අතරෙ අවුරුදු කුමාරි තරඟේ තිබ්බා. මටත් තරඟෙට යන්න කියලා සුපවයිසර් මහත්තුරු කිව්වා. හැබැයි මුලින්ම තරඟෙට යන්න මම ටිකක් ලැජ්ජ වුණා. අවසාන මොහොතෙදි තමයි ඉදිරිපත් වුණේ. තරඟයට 13 දෙනෙක් විතර ඉදිරිපත් වෙලා හිටියා. ඒ අය අතරෙන් තුන්වැනියා වුණා. තෑගිබෝගත් ලැබුණා. හරිම සතුටුයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ධරණී

ඡායාරූප – ගැස්ම

t

o

p