අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් – ජනපති ගෙන් නව සැලැස්මක්

April 26, 2023

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට කටයුතු කරන බව ද පැවසීය.

එම අධ්‍යාපන ක්‍රමවේදය සැලසුම් කිරීම සඳහා නව අමාත්‍ය කමිටුවක් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගෙන් එය සමන්විත බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයේ “රහල් සියවස් ප්‍රතාප” සියවස් සැමරුම් උත්සවයට (25) පෙරවරුවේ එක් වෙමිනි.

“රහල් සියවස් ප්‍රතාප ” උත්සවයට සමගාමීව විද්‍යාභිමානී අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ කලා උළෙල පුරා දින තුනක් විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

මාතර රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

විදුහල්පති මේජර් සුදත් සමරවික්‍රම මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර “රහල් සියවස් ප්‍රතාප ” සමරු සංග්‍රහය ද පිළිගැන්විණි.

විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන යොනාල් මෙවිදු සිසුවා විසින් එම අවස්ථාවේදීම සිතුවම් කරන ලද ජනාධිපතිවරයාගේ රුව රැගත් ආලේඛ්‍යය චිත්‍රය ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, රට තුළ නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බවත්ය.

ඉදිරියේ දී අධ්‍යාපනය නවීකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ වැදගත්ම ජාතික සම්පත තරුණ පරපුර බවත් අනාගත පරපුරට විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මාතර, රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් මට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. රාහුල විද්‍යාලය පිළිබඳව කතා කිරීමේදී එහි ආදි කතුවරුන් පිළිබඳව සිහිපත් කළ යුතුයි. ගෝඩ්න් පියස් මැතිතුමා, එන්.ඩී.ටී. රාජපක්ෂ නොතාරිස් රාළහාමි, සී.ඒ. ඕදිරිස් සිල්වා මැතිතුමා විශේෂයෙන් සිහි කිරීමට අවශ්‍යයි.

ඒ වගේම මාතර ප්‍රධාන පෙළේ පවුල් සියල්ලම වගේ රාහුල විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ආධාර උපකාර කළා. සී.ඒ ඕදිරිස් සිල්වා මැතිතුමා පිළිබඳ සිහි කරන විට එතුමා පමණක් නොවෙයි කන්ද උඩආරච්චිගෙ පවුලේ එතුමාගේ පුත්‍රයත් අප මතක තබාගත යුතුයි.

ආරියතිලක මැතිතුමා, ධර්මපාල මැතිතුමා, හරිස්චන්ද්‍ර මැතිතුමා ඇතුළු සියලුදෙනා ඒ අතර සිටිනවා.

එමෙන්ම මම දේශපාලනයට පිවිසෙන විට ධර්මපාල මැතිතුමා මට විශාල ලෙස උපකාර කළා. මම ජනතාව ආමන්ත්‍රණය කළ පළමු රැස්වීම වුණේ එතුමා විසින් සංවිධානය කළ දෙවුන්දර රැස්වීම. පසුව වරින් වර මට එතුමාව මුණගැසුණා. ඒ සෑම අවස්ථාවකම මේ රාහුල විද්‍යාලය ගැන කතා කළා.

ඒ වගේම 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව එතුමා මගින් මෙම පාසලට උදව් උපකාර ලබා ගත්තා. 1980 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ පාසලට පැමිණියේ ධර්මපාල මහතා කළ ඉල්ලීම අනුවයි. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේත් එතුමා පැමිණ මේ රාහුල විද්‍යාලය පිළිබඳ කතා කරනවා. එතුමා අපේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක් වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙක් නිසා එතුමාගේ ඉල්ලීම් අපි කෙසේ හෝ ඉටු කර දෙනවා. ඒ වගේම මෙම පාසල සඳහා උපකාර කළ තවත් පවුල් ගණනාවක් සිටිනවා. වනිගසේකර පවුල, විජේතුංග පවුල ඒ සියලුදෙනා මම මෙම අවස්ථාවේ දී සිහිපත් කරනවා.

අද මාතර රාහුල විද්‍යාලය ලංකාවේ ප්‍රධාන විද්‍යාලයක්. මේ රටට සේවය කරන බොහෝ දෙනෙක් මේ විද්‍යාලයෙන් බිහි වූ අය බව කිවයුතුයි. මේ සියවස තුළ රාහුල විද්‍යාලය රටට කළ සේවයට මම ස්තූති කරනවා.

මම ජනාධිපතිවරයා ලෙස සෑම විටම විශ්වාස කරන්නේ රටේ තරුණ පරපුරට ලබාදය හැකි හොඳම තිළිණය අධ්‍යාපන කියලයි. විශේෂයෙන්ම 19 වන සහ 20 වන ශතවර්ෂයේ පාසල් ගණනාවක් ආරම්භ කළේ 20 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් ලබාදීම සඳහායි. ඒ සමඟ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. මධ්‍ය මහා විද්‍යාල ලබාදුන්නා. මේ සියල්ලන්ගෙන්ම 20 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කෙරුණා.

නමුත් අපි දැන් සිටින්නේ 21 වන ශතවර්ෂයේ. එසේ නම් අපි 21 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් රටේ දරු පරපුරට තිළිණ කළ යුතුයි.

මේ විද්‍යාල භූමියේදී මම එක පුතෙකුගෙන් ඇහුවා ඔහුගේ වයස කීයද කියලා. ඔහු මට පිළිතුරු දුන්නා අවුරුදු දහයයි කියලා. එම පුතා තව අවුරුදු හැත්තෑවක් ජීවත් වුණොත් 2090 වන තුරු ජීවත් වෙනවා. ඉතින් මේ කාලයට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් අද තිබෙනවද? අපි එම අධ්‍යාපන ක්‍රමය ඇති කළ යුතුයි.

රජය අද කටයුතු කරන්නේ 2048 සහ ඉන් ඉදිරිය ඉලක්ක කර ගනිමින්. ඒ සමඟම 2035 වන විට රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඊළග වසර දෙක තුන තුළදී නව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් අපි මුදල් යෙදවිය යුතුයි. ඉන්පසුව අපට ලැබෙන මුදල්වලින් විශාල කොටසක් අධ්‍යාපන නවීකරණ වැඩසටහන් සඳහා යෙදවීමට අපි අපේක්ෂා කරනවා. එසේ නම් අනාගතයට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් අපි ඇති කළ යුතුයි. මොකද අපේ රටට තිබෙන එකම ජාතින සම්පත මේ තරුණ පිරිසයි. ඔවුනට හොඳ අධ්‍යාපනයක් ලබාදී අනාගතය ගොඩනඟා දිය යුතුයි.

සිංගප්පුරුව කියන්නේ ජල සම්පතවත් නැති රටක්. එහෙත් ඔවුන්ගේ ජාතික සම්පත තරුණ පරපුර ලෙස සලකමින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඊශ්‍රාලය කිසිම සම්පතක් නැති රටක්. නමුත් අද හොද අධ්‍යාපනයක් සහ තාක්ෂණයක් ඊශ්‍රාලයේ තිබෙනවා. ඒ වගේම කඳු සහ හිම විතරක් ඇති ස්විස්ටර්ලන්තය මානව සම්පත සංවර්ධනයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. එසේ නම් අපිත් මේ සමඟ ඉදිරියට යා යුතුයි.

අද මේ ගුරු මණ්ඩලයෙන් ඇසුවොත් මේ අධ්‍යාපන ක්‍රමය අනුව 2050 වන තෙක්වත් ඉදිරියට යා හැකි ද කියා පිළිතුර “නොහැකි” යන්නයි. එසේ නම් අපි කඩිනමින් අධ්‍යාපන නවීකරණයකට යා යුතුයි.

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට හෝ බාධා කිරීමට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍ය නම් අපි ඒ සඳහා නීති ගෙන එනවා. මේ රටේ අනාගතය තීරණය කරන්නේ අධ්‍යාපනයයි. විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළහොත් අපේ රට ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකියි.

ඒ නිසා අධ්‍යාපන අමාත්‍යවරයා සහ මම සාකච්ඡා කර අධ්‍යාපනය පිළිබඳ කැබිනට් කමිටුවක් ඊයේ කැබිනට් මණ්ඩලයේ දී පත්කර ගත්තා. මමත්, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක් එහි සිටිනවා.

අපි අනාගතයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ජාතික අධ්‍යාපන කොමිෂමෙන් අපිට වාර්තා ලබා දී තිබෙනවා. ඒවායේ හොඳ කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කාරක සභා ඇතුළු අංශ ගණනාවකින් අපිට වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරමින් අපේ අරමුණ කරා ගමන් කරන්නේ කෙසේද යන්න අපි සොයා බැලිය යුතුයි.

2070 වන විට මීට වඩා විශාල වෙනසක් සමාජය තුළ සිදු වෙනවා. එම තත්ත්වය අධ්‍යපනයට බලපානවා. අපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි. කෘතිම බුද්ධිය වගේම දැන් අලුතින් ඇවිත් තිබෙන ChatGPT තිබෙනවා. කෙසේද එය ඉගෙනුමට බලපාන්නේ. අපට අවශ්‍ය පාසල් කේන්ද්‍රය අධ්‍යාපන ක්‍රමයක් ද, එසේ නොමැති නම් ශිෂ්‍ය කේන්ද්‍රිය ක්‍රමයක් ද, මේ පිළිබඳ අපි තීරණය කළයුතුව තිබෙනවා.

අපේ රටේ දරුවෙක් අද වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි. අද ලෝකයේ සාර්ථකම අධ්‍යාපන ක්‍රමය තිබෙන රට අමෙරිකාව. එහි සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග නැහැ. සැට් විභාගයයි, පාසල් වාර්තාවයි තමයි සලකා බලන්නේ. අපිත් එතනට යා යුතුයි. එසේම නව විෂයයන් හඳුන්වා දිය යුතුයි.
ඒ වගේම දේශගුණික විපර්යාස විෂයයක් බවට පත් කරනවා. ඒ වගේම අපි අලුතින් ඉතිහාසය පිළිබඳ ආයතනයක් ආරම්භ කරනවා.

අද රූපවාහිනියෙන් පමණක් නොවෙයි අතේ තිබෙන ජංගම දුරකථනයෙනුත් අධ්‍යාපනය ලබා ගත හැකියි. මේ සියල්ල වෙනස් වෙනවා. සියලු සිසුන් කලා විෂයයක් හැදෑරිය යුතුයි. ඉතිහාසය, භූගෝලය, සාහිත්‍ය දැනගත යුතුයි. ඒ වගේම විද්‍යා විෂයයන් පිළිබඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි.

ඊළග වසර 10 වන විට සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව ඉගැන්විය යුතුයි. ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනීමේ දී ඉංග්‍රීසි අනිවාර්යය කිරීමට අපි කටයුතු කරනවා. උසස් පෙළ පැවැත්වෙන සියලු පාසල අන්තර්ජාලය සමග එක් කිරීමට දැනට අපි කටයුතු කර තිබෙන අතර පසුව සාමාන්‍ය පෙළ පාසල් දක්වා එය ව්‍යාප්ත කරනවා.

අද මේ පාසලේදි මට දකින්න ලැබුණා හොඳ වඩිඟපුටන නැටුමක්. මම ඒ අයට ප්‍රශංසා කරනවා. මේවා සමග අලුතින් අපි ඉදිරියට යා යුතුයි. ඒ වගේම ෆින්ලන්තයෙන් ලැබුණු වෘත්තීය වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය යොවුන් සේනාංකය වැනි ආයතන සමග එක්ව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 400ක් විතර රට පුරා ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රධාන ආයතන දෙක ඒකාබද්ධ කර මෙම මධ්‍යස්ථාන වෘත්තීය පාසල් බවට පත් කර එම සිසුන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා රජයේ විශ්වවිද්‍යාල පමණක් නොවෙයි රජයේ නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවශ්‍ය අයට පළමු වසරදෙක තුනේදී පොලී රහිතව සහනදායි කොන්දේසි මත ණය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එවගේම රට ඉදිරියට ගෙන යාමේ දී ඉංජිනේරුවන් සංඛ්‍යාව ඉහළ නංවා ගත යුතුයි. අද වාර්ෂික පිට වන්නේ ඉංජිනේරුවන් 2500ක් පමණයි. අපේ ඉලක්කය පළමු අදියරේදී එය 10,000ක් බවට පත් කර ගැනීමයි. අද වෛද්‍යවරුන් පිට වන්නේ 1500යි. එය 5,000ක් බවට පත් කළයුතුයි. ඒ නිසා තරුණ තරුණියන්ට රුකියාවක නිරත වන අතරම උසස් අධ්‍යාපනයේ නිරත විය හැකි අන්දමින් නව විශ්ව විද්‍යාල ඇති කළ යුතුයි.

ආසියානු සංවර්ධන බැංකුව , ලෝක බැංකුව ඇතුළු ආයතනවලින් මෙම කටයුතු සඳහා සහාය ලබා ගනිමින් නව ක්‍රමවේදයක් ඇති කිරීම සදහා අපි සැලසුම් කර තිබෙනවා. ඒ ක්‍රමවේදය සමග රට දියුණු වෙනවා වගේම අනාගතයට මුහුණ දිය හැකි ශක්තිමත් අධ්‍යාපනයක් ගොඩනැගීමට හැකි වෙනවා. 2048 නිදහසේ සියවස වන විට දියුණු රටක් බවට පත්වීමට නම් මෙම නව වැඩසටහන් අවශ්‍යයි. ඒ නිසා එම කටයුතු මෙම කැබිනට් කමිටුව හරහා හඳුන්වාදෙමින් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර ඉදිරියට ක්‍රියාත්මක කරමු.

අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, තැපල්පති රුවන් සරත්කුමාර යන මහත්වරුන් ද මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p