IMF පළමු වාරිකයෙන් කරන්න යන දේ

March 22, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (මාර්තු 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල එකඟතා ලියැවිල්ල පරිලිමෙන්තුවේදී සභාගත කරනු ලැබීය.

එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව නව ගමනකට යොමු වී ඇති බව ත් එහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව ත් ය.

රටේ සාර්ථකත්වයේ පදනම නිර්මාණය වන්නේ එතැනින් බව ඔහු අවධාරණය කළේ ය.

ඒවායින් ඇතැම් ප්‍රතිසංස්කරණ 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර, දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී සඳහන් කළේ ය.

රජය ආදායම වැඩි කර ගැනීමේ සැලසුම

2025 වන විට ප්‍රථමික හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 2.3ක් බවට පත් කර ගැනීම.
2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් දක්වා වැඩි කර ගැනීම.
වැට් බදු සඳහා ලබා දී ඇති නිදහස් කිරීමේ ක්‍රමානුකූල අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම සහ SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර.
2025 වසරේදී අවම බදු නිදහස් කිරීමක් සහිතව දේපළ බදු ක්‍රමයක් වෙනුවට ධන බද්ධක් හඳුන්වා දීමටත් තෑගි සහ බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර.

රාජ්‍ය වියදම් කළමනාකරණය

විධිමත් වියදම් කළමනාකරණය ඔස්සේ රජයේ වියදම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර.
උද්ධමනයට සරිලන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැලපීමට අපේක්ෂා කිරීම. (“නමුත් මෙම ගැලපීම සිදු කරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමා තුළ.”)

රාජ්‍ය ව්‍යවසාය සහ බලශක්ති මිල

ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. ඉන්ධන මිල තීරණය කිරීම 2018 වසරේ හඳුන්වා දුන් මිල සූත්‍රය අනුව පමණයි.
අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම සය මසකට වරක් ම විදුලි බිල ගැලපීමට පියවර.
මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතනවල ශේෂපත්‍ර යළි සකස් කිරීම.
කල් ඉක්ම වූ ස්වෛරිත්ව ඇපකර මත ලබා ගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීමට කටයුතු කිරීම.

මිල ස්ථායිතාව සහ මූල්‍ය ප්‍රතිපත්ති

උද්ධමනයේ අනුපාතය 4% – 6% අතර අනුපාතයකට නැවත ගෙන ඒමට කටයුතු කිරීම.
2023 වසර මැද භාගය වන විට උද්ධමනයේ අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒමට උත්සහ කිරීම.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන කාලවකවානුව තුළදී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වීම.
අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මෙමගින් මහා භාණ්ඩාගාරයට සිදු වීම.
දැනට පවතින විදේශ විනිමය සීමා කිරීම් හා නියාමන ක්‍රමයෙන් ඉවත් කරමින් විදේශ විනිමය වෙළෙඳපොළේ කටයුතු වෙළෙඳපොළ නිර්ණායක මත තීරණය වීමට යළිත් ඉඩ ලබා දීම.
තීරණය කරන ලද ඉලක්ක අනුව විදේශ සංචිත ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිල දී ගැනීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබීම.

යහ පාලනය

දේශීය විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට ගෙන IMF සංවිධානය විසින් රාජ්‍ය දුර්වලතා පිළිබඳව වාර්තාවක් සකස් කරනු ලැබ ඇතැයි ජනාධිපතිවරයා පැවසීය. දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය හා ආයතනික රාමුව තුළ අඩුපාඩු හඳුනා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව ඔහු එහිදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණය මැඩලීමේ නීති සම්පාදනය කිරීම.
අහිමි වූ වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 වසරේ මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුළු කිරීමට ද අපේක්ෂා කිරීම.
ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් කෙටුම්පත් කිරීම.
සහනයදායි බදු පදනම මත වාහන ආනානය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයින්, ආයෝජන මණ්ඩලයේ බදු, සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීම.
විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳව විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම.

වර්ධනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනේ ප්‍රතිසංස්කරණ ඔස්සේ මධ්‍යම පරිමාන හා දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීම ඇතුළත් බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව;

වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමට අදාළ ක්‍රියාමාර්ග, කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය වැඩිදියුණු කිරීමේ පියවර, කුසලතා සංවර්ධනය, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් අකාර්යක්ෂමතාව සහ පිරිවැය අඩු කර ගැනීමට පියවර.
කාලගුණ වෙනස් වීම මත සිදුවන වෙනස්කම් ද මෙහිදී සැලකිල්ලට ගැනීම.

ඉදිරි ක්‍රියාමාර්ග

IMF සැලසුමට ඔබ්බෙන් යන බහුවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වීම.
අර්ටිකය විවෘත කිරීම සහ ඩිජිටල්කරණය ඔස්සේ තිරසර ප්‍රතිජීවනයක් ලබා ගැනීම ද මධ්‍ය හා දීර්ඝ කාලීන ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ද අරමුණු කිරීම.
ඒත් සමග ද්විපාර්ශිවක ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කිරීම.
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේද ඔස්සේ ඉදිරියට යමින් විවෘත හා විනිවිදව පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා ඉදිරියට ගෙන යාම.
ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා කොන්දේසි පිළිබඳව අවසන් තීරණ ගැනීමට පෙරාතුව සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකි වන ආකාරයේ විවෘත ක්‍රමවේදයක් අනුගමනය කිරීම.
අනෙකුත් විදේශ ණය හිමියන් සම්බන්ධයෙන් ද එම පිළිවෙත අනුගමය කිරීම.
එහිදී සියලු ණය හිමියන්ට සාධාරණ වන අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වීම.
ශ්‍රී ලංකාවේ ණය ගැතිභාවයන් පිළිබඳ වාර්තා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් නොකිරීම.

බදු බර සහ උද්ධමනය හේතුවෙන් සාමාජය පීඩා වින්ද ද දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලින් ඈත් වීමට මෙම අවස්ථාවේ හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ මාස 6කට වරක් සමාලෝචනය කිරීමට රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටුයුතු කරන බව ය.

ඒ අනුව, එළෙඹෙන ජූනි මාසයේදී පළමු සමාලෝචනය සිදු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

දැනට ක්‍රියාත්මක කෙරෙන බදු ක්‍රමය සංශෝධනය කිරීම සඳහා දැනටමත් රජයේ අවධානය යොමු වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේ ය.

“මහා භාණ්ඩාගාරය සංශෝධිත යෝජනා සකස් කරමින් යනවා. ඒ වගේ ම විවිධ විද්වතුන් ආර්ථික විශේෂඥයින් මේ සම්න්බන්ධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් සියලු දෙනා සමග සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසු පොදු එකඟතාවකට එළඹෙන්න අපිට පුළුවන් වේවි.”

ජූනි මාසයේදී සිදු කරන සමාලෝචනයේදී මෙම බදු සංශෝධන රජයේ සැලසුමට ඇතුළත් කිරීමට IMF සංවිධානය සමග සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

IMF එකඟතා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අප්‍රේල් 3 වන සතියේ පැවැත්වීමට දින නියම කිරීම සඳහා කටුයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

t

o

p