විශ්වවිද්‍යාල නියාමනයට කොමිසමක්

March 11, 2023

රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය සඳහා වෙනම කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙන අතර ඒ සඳහා වන පනත් කොටුම්පත මේ වන විට සකස් කර තිබේ.

විදෙස් විශ්විද්‍යාල සමග අනුබද්ධව මෙරට පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් නවදහසක් පමණ අධ්‍යයන කටයුතු කරන නමුත් එම විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නැත.

එම ඇතැම් විශ්වවිද්‍යාල සමග පැවැති ගිවිසුම්වලින් විදෙස් විශ්වවිද්‍යාල ඉවත් වී ඇති නමුත් ඒ බව ප්‍රසිද්ධ නොකර පවත්වාගෙන යන විශ්වවිද්‍යාල ද පවතින බව මේ දිනවල ඊට අදාළව පවත්වන සාකච්ඡාවල දී අනාවරණය වී තිබේ.

එමෙන්ම විදෙස් විශ්වවිද්‍යාල සමග ගිවිසුම්ගතව ඇති බව ප්‍රසිද්ධ කර තිබෙන ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල එවැනි ගිවිසුම් හෝ නොමැති බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතී.

එමෙන්ම එම විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අය කරන ගාස්තු සම්බන්ධයෙන් නියාමනයක් ඇති කිරීම ද මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණක් වී ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද මෙම කොමිෂන් සභාව යටතට පත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාරික අරමුණින් පමණක් යැයි ද හෙළි වී තිබේ.

මෙම විශ්වවිද්‍යාලවලට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී තිබෙන පෞද්ගලික විශ්විද්‍යාලවල සිසුහු නවදහසක් පමණ අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති.

උසස් පෙළ විභාගයෙන් සමත් වන එහෙත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වන සිසුන්ට උසස් ​අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී.

රාජ්‍ය විශ්විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ දැන් පවතින අධ්‍යයන කාලසීමාවන් වෙනස් විය යුතුය යන්න සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවලදී අදහස් පළ වී තිබේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් සතියකට අධ්‍යයන කටයුතු කරන්නේ පැය අටක් වැනි කාලයක් බවද මෙහි දී සඳහන් වී ඇත.

t

o

p