බහුකාර්ය සංවර්ධන සහායකයන් 2400කට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සහායක පත්වීම්

March 6, 2023

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත් බහුකාර්ය සංවර්ධන සහායකයන් 2,400කට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහායන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

මෙහිදී පත් වීම් ලාභීන් අමතමින් අගමැතිවරයා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවට අන්තර්ගතව සිටින 30,000ක පමණ තරුණ පිරිසකට විවිධ සේවා ස්ථානවල රැකියා අවස්ථාවට පිවිසීමට හැකි තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ කර්තව්‍යය ඉටු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකීම භාර ගන්නා බවත් පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද කීය:

“පොදුවේ රටේ තරුණ පරම්පරාවට රජයේ දෙපාර්තමේන්තුවල සහ පෞද්ගලික අංශයේ වගකීම් භාර කරමින් අනාගතයේ දියුණු රටක් බවට පත් කරගැනීමටත් අප මුහුණ දෙන අර්බුදයෙන් රට ගොඩ ගෙන අනාගත ඉලක්කයට රට ගෙන යෑමටත්‍ බහුකාර්ය දෙපාර්තමේන්තුව දුන් සහයෝගය විශේෂයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ඇමැති මණ්ඩලය ගත් තීරණය පරිදි ඔබ සැම මේ පුහුණුවට බඳවාගත් අවස්ථාව ඔබ සැමට මතක ඇති. ඉතා දුෂ්කර අමාරු කාල පරිච්ඡේදයක් ගත කළ බව ඇමතිවරයා සඳහන් කළා. එය අප කාටත් අමාරු කාලපරිච්ඡේදයක්. රජය විසින් ගනු ලැබූ මේ තීරණය ක්‍රියාත්මක කිරීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා, ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව මුලින්ම තෝරාගැනීම අපට විශාල ජයග්‍රහණයකට අත දීමක් වුණා. ජනාධිපතිවරයා විසින් මේ දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා හැටියට මා වෙත පවරා තිබෙනවා. අප මේ කටයුතු ඉක්මනින් නිම කරන වැඩසටහනකට අවතීර්ණ වී සිටිනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපය ගත වන්න පෙර මේ සේවාවට අන්තර්ගතව සිටින ඔබේ සහෝදර සහෝදරියන් 30,000කට පමණ ඒ ඒ ප්‍රදේශවල රැකියා අවස්ථාවට පිවිසීමට පුළුවන් තීරණ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

“දුම්රිය දෙපාර්තමේන්තුව ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තු දෙක තුනකින් එකක්. අවුරුදු සියයකට වැඩියි. මහාමාර්ග දෙපාර්තමේන්තුවත් අවුරුදු සීයකට වඩා පරණයි. මේ ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තු දෙකෙන් වැඩිය වේගයෙන් නම් යන්නේ තවම දුම්රියයි. මොකද දුම්රියට බාධාවක් නැහැ. මහ පාරේ යන ගමනට නිරන්තර බාධා තිබෙනවා. විවිධ කරුණු නිසා පැනනැඟෙන ඒ බාධා ඉවත් කරමින් අධිවේග මාර්ග කිහිපයක් ඉදි වෙලා තියෙනවා.“

මෙහිදී අදහස් පළ කළ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

“යටත්විජිත යුගයේ ඇරඹුණු මෙරට දුම්රිය සේවයේ මානව සම්පත ඉටු කරන්නේ ඉතා වැදගත් මෙහෙවරක්‌. දුම්රිය කාර්ය සහායක ශ්‍රේණියේ නිලධාරීන් හටත් එහි විශාල වගකීමක් පැවරෙනවා. රටේ පවතින තත්ත්වය යටතේ රාජ්‍ය සේවය උදෙසා අලුතින් බඳවාගැනීම් නවතා තිබෙන මොහොතක වුවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර, රජයේ බහුකාර්ය සංවර්ධන බළකායේ පුහුණුව ලැබූ 2,400ක් සඳහා ස්ථිර පත්වීම් පිරිනමා දුම්රිය සේවයට එක් කරගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්‌. සුවිශාල ජාතික සේවයක වගකීමට උර දෙන දුම්රිය සේවයට එක් වීමට ලැබීම ඔබ ලැබූ භාග්‍යයක්. අලුත් අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහිතව රටට සේවය කිරීමට අවස්ථාවක්‌ මෙන්ම කැප වීම, උනන්දුව හා උත්සාහය මත උසස්වීම් සහිත ස්ථාවරත්වයට ළඟා වීමේ අවස්ථාවද ඔබ‍ට හිමි වනවා. රැකියාව තුළ කුමන වෘත්තීය ගැටලු මතු වුවත් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, ශිෂ්ට සම්පන්න ලෙස ඒ ගැටලු විසඳාගැනීමේ වගකීම ඔබ‍ට පැවරෙනවා. ඒ සඳහා උපකාර කිරීමට විෂය භාර ඇමැති ලෙස මමත්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු පරිපාලනයත් ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටිනවා.“

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) නන්ද මල්ලවආරච්චි, දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන්, පත්වීම්ලාභි දුම්රිය කාර්ය සහායක නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

t

o

p