ආර්ථික සංවර්ධන වේගයට ජනතාවගේ ආකල්ප සහ කැපවීමත් බලපානවා – උතුරේදී ජනපති කියයි

February 13, 2023

ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා යුද්ධයට පෙර ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් උතුරු පළාත තුළ යළිත් ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් එම පළාතේ දේශපාලන නියෝජිතයන් සහ විද්වතුන් පිරිසක් සමඟ පසුගියදා යාපනයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.‍

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“සංහිඳියා වැඩසටහන යටතේ උපරිම බලය බෙදා දීම ගැනත් ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා.

ආර්ථික සංවර්ධනය සමඟ උතුරු පළාතේ විශාල සංවර්ධනයක් සිදු කළ යුතුයි. යුද්ධය නිසා යාපනයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එය තවමත් බලාපොරොත්තු වූ තත්ත්වයට පැමිණ නැහැ. ඒ නිසා රට එම තත්ත්වයට ගෙන ඒමට වසර 10ක සැලසුමක් යටතේ කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා විදේශ ආධාර පමණක් නොව ඩයස්පෝරාවේ ආධාර ලබා ගැනීමටත් සිදු වෙනවා.

ඒ නිසා මේ පිළිබඳ මේ පළාතේ නව සංවර්ධන කටයුතු ගැනත් ඔබේ අදහස් ලබා ගැනීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

පොහොර ලබා දීමේදී අප ප්‍රමුඛතාව ලබා දුන්නේ වී වගාව ආරම්භ කිරීම සඳහායි. ඉදිරියේදී අනෙකුත් භෝග සඳහාත් පොහොර ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

කෙටිකාලීනව විසඳාගත හැකි ගැටලු රැසක් තිබෙනවා. රටේ තිබෙන තත්ත්වය අනුව මේ වසරේ ඊට ප්‍රතිපාදන සපයා ගැනීම අසීරු වුවත් ඒ පිළිබඳ ඉදිරියේදී අවධානය යොමු කරනවා.

කඩාවැටුණු ආර්ථිකයෙන් නැවත නැඟී සිටීමට අප සැලැස්මක් අනුව කටයුතු කළ යුතුයි. අප ලබා ගෙන ඇති ණය ආපසු ගෙවිය යුතුයි. මේ වසරේ සිට අනාගතයට විදේශ ණය ලබා ගත යුතුව තිබෙනවා. ඒවාත් ආපසු ගෙවිය යුතුයි. විදේශ විනිමය අතිරික්තයක් ඇති කර ගැනීමට අවශ්‍යයි.

ඒ නිසා අප බලාපොරොත්තු වෙන්නේ අපනයනය කේන්ද්‍ර කරගත් සහ තරගකාරී ආර්ථිකයක්. ඒ සඳහා උතුරු පළාතත් තෝරාගෙන තිබෙනවා. ඒ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කළොත් උතුරු පළාතේ ආර්ථිකය විශාල ලෙස වෙනස් වී ප්‍රධාන ආර්ථිකයක් බවට පත් වෙනවා.

ඒ අනුව අපේ පළමු උත්සාහය වන්නේ උතුරුමැද සහ නැඟෙනහිර පළාත්වල කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කිරීමයි. කිලිනොච්චියේ සිට කුමන ප්‍රදේශය දක්වාත් එතනින් උඩවලව දක්වාත් සිදු කෙරෙන වී වගාවෙන් අක්කරයකට වී මෙට්‍රික් ටොන් 06ක් 07ක් ලබා ගැනීම අපේ අපේක්ෂාවයි. ඒ ප්‍රදේශවල වී නිෂ්පාදනය ඉහළ ගිය විට අනෙක් ප්‍රදේශවල ඉඩම් වෙනත් ආයෝජන සඳහා යෙදවීමට අවස්ථාව ලැබෙනවා.

ධීවර කර්මාන්තය වාණිජ වශයෙන් කරගෙන යා හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට පමණක් නොව ඉස්සන් වගාව සඳහා ද මුල් තැන දිය යුතුයි.

අද තිබෙන බොටම් ට්‍රෝලින් ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා. උතුරේ ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා.

මල්වතුඔය සහ යෝධඇළ එක්කර ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්නත් අනෙක් ගංගා සහ ඔයවල් ආශ්‍රිතව ජලය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන් ආරම්භ කරන්නත් යෝජනා වෙලා තිබෙනවා. ඒ වගේම අලිමංකඩ කළපුවට පිරිසුදු ජලය ලබා දෙන්න කටයුතු කරන අතර පුනරින් වැවත් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

මේ පළාතේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට වැඩපිළිවෙළක් තිබෙනවා. වැව්වල සූර්යබල කෝෂ සවි කර විදුලි බලය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන අතර, හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බලා තිබෙනවා.

පුත්තලම සිට මුලතිව් වෙරළ දක්වාත් හම්බන්තොට වෙරළේත් අපට මෙගාවොට් 30 – 40ක පමණ අතිරික්තයක් හදාගන්න පරීක්ෂණ කරගෙන යනවා. අනාගතය තිබෙන්නේ හරිත ඇමෝනියා සහ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සමඟයි. එයින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ උතුරු පළාතෙන්. එයින් සම්පූර්ණයෙන් උතුරේ ආර්ථිකය වෙනස් වී ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කළ හැකියි.

ඒ වගේම මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කුඩා නැව් මාර්ග මේ දූපත්වලටත් යනවා. සාම්ප්‍රදායික හින්දු දේවස්ථාන බැලීමට සංචාරකයන් පැමිණෙනවා.

එමෙන්ම මාන්කුළම පරන්තන් කර්මාන්ත කලාප ඇති කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය නොවන වෙනත් විශ්වවිද්‍යාලයක් මේ ප්‍රදේශයට ගෙන ඒමටත් අප සැලසුම් කර තිබෙනවා.

තාක්ෂණික ආයතන මේ ප්‍රදේශයට ගෙන ඒමෙන් දැනුම තිබෙන තාක්ෂණික ප්‍රදේශයක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පුනරින් නව නගරයක් බවට පත්කිරීම අපේ සැලැස්මයි.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. එය උතුරු පළාතේ සංවර්ධනයට තදින් බලපානවා. යුද්ධයට පෙර උතුරු පළාත රටේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන්නා. එම තත්ත්වය යළිත් ඇති කරමින් එය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට ආණ්ඩුවක් ලෙස අප බලාපොරොත්තු වෙනවා.

සංහිඳියාවෙන් පමණක් මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. රටේ දුප්පත්කම නැති කර තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. නැත්නම් මේ ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මත්ද්‍රව්‍ය උවදුර අප මේ පළාතෙන් තුරන් කළ යුතුයි.

මෙය සිදු කළ හැක්කේ ආණ්ඩුවට පමණක් නොවෙයි. අප සහයෝගය ලබා දෙනවා. ඔබ සියලු දෙනා එකතුව කැපවීමෙන් වැඩ කරන්නැයි මා ඉල්ලා සිටිනවා. එලෙසම එක් එක් පළාත්, තම පළාත දියුණු කිරීමේ වගකීම භාරගත යුතුයි. මේ සඳහා පළාත් 09 අතර තරගයක් පවත්වමු. ඒ තරගය තුළින් රටම දියුණු වෙනවා.”

t

o

p