මිනීපෙට්ටි නිසා හරි ජරමර

October 20, 2021

ගලෙන්බිඳුණුවැව නගරයේදී පොහොර ඉල්ලමින් ගලෙන්බිඳුණුවැව හුරුළු ගොවි සංවිධානයට ඒකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානය නියෝජිතයෝ විරෝධතාවක නිරත වූහ.

ගොවියාගේ මළගම යන තේමාව යටතේ මිනීපෙට්ටියක් ඔසවාගත් විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරය පුරා සියලු විදී ඔස්සේ ගමන් කරමින් තමන්ට නිසි වේලාවට පොහොර දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටියේය.

කහටගස්දිගිලිය කැකිරාව මර්ගය ඔස්සේ විරෝධතාකරුවන් ගලෙන්බිඳුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් ගොස් ආයතනය ඉදිරියේ විරෝධතාව පවත්වන ලදි.

එම ස්ථානයට ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ගැටලුව පිළිබඳ විමසා සිටීමේදී ගොවීන් පවසා සිටියේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානියාව හමු වී ඔහුට සංදේශයක් භාර දීමට ඇති බවටයි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා පිරිසකට ගෝවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානියා මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීමට කටයුතු කළත් එම අවස්ථාව වන විටත් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානින් ස්ථානයෙන් පිටව ගොස් තිබිණි.

අනතුරුව පොලිස් නිලධාරීන් සහ ගොවීන් අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටිනා බලධාරියකුට තම ගැටලුව ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව විරෝධතාකරුවන් පවසා ඇති අතර සන්දේශය එහි සිටි නිලධාරියකුට භාර දී තිබේ.

කැකිරාව – ගලෙන්බිඳුණුවැව මාර්ගයේ ගලෙන්බිඳුණුවැව නගරයට පැමිණි විරෝධතාකරුවන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සැකසූ පඹයකු හා මිනීපෙට්ටිය ගලෙන්බිඳුණුවැව නගරයේ මැද තබාගෙන තමන් රවටා ඇති බව පවසා එම පඹයකු අයුරින් සකසා තිබූ අනුරුව ගිනිබත් කරමින් එය පොළොවේ ගසමින් ගොවීන් කියා සිටියේ ආණ්ඩුව ගොවියා විනාශ කර දමා ඇති බවටයි.

t

o

p