එළවළු හා පලතුරු අස්වනු හානියෙන් මෙරට ආර්ථිකයට වාර්ෂිකව සිදුවන අලාභය රුපියල් බිලියන 20ක්

April 9, 2021

ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී  අනාවරණය  විය.

එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සියයට 30-40 ත් අතර ප්‍රමාණයක්  බව  අනාවරණයවී තිබේ.

මෙරට වැඩිහිටියන්ගෙන්  73% ක් පමණ ප්‍රමාණවත් පරිදි එළවළු හා පලතුරු පරිභෝජනය නොකරන අතර , වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන් ගේ මන්දපෝෂණ මට්ටම  ද 21%  පමණ වන බව  තවදුරටත්  මෙම වාර්තාව මගින්  හෙළිදරව් වී තිබේ.

එමෙන්ම කෘෂිකර්මයේ සමස්තය ආවරණය වන පරිදි සකස් කළ සම්මත කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොමැති බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී  අනාවරණය  විය.

2019 දී අවසන් වරට සකස් කර ඇති දේශීය  කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ද මේ වන විට  පවතින්නේ  කෙටුම්පත් මට්ටමේ  බවත්, දේශීය හා විදේශීය වෙළද පොළ ඉලක්ක කරගත් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබදව ද කෝපා කමිටුවේ අවධානයට  ලක්විය.

ඉහත කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ  එළවලු හා පලතුරු  සම්බන්ධව  පසු අස්වනු හානිය අවම කිරීම හා සාධාරණ මිලට අලෙවිය සඳහා අදාළ රාජ්‍ය  ආයතනවල මැදිහත්වීම පිළිබඳ වූ කාර්‍ය සාධන විගණන  වාර්තාව සාකච්ඡාවට  ලක්  කළ අවස්ථාවේදී ය.

එසේම, මෙම කමිටුවේ සාමාජිකයින්ගේ  අවධානය යොමු  වූ තවත් වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ, දේශීය  ගොවියා සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශවයටම  ගැටලුවක් වන අතරමැදියන්ගේ අසීමිත  ලාභ ඉපයීම   වැළැක්වීමට   සහ මෙරට එළවළු හා පලතුරු පසු අස්වනු හානිය අවම කිරීම මෙන්ම කෘෂි නිෂ්පාදන  සාධාරණ මිලට අලෙවි කිරීම සඳහා  කඩිනම් වගා සැලැස්මක අවශ්‍යතාවයයි.

මෙහිදී ශ්‍රී ලාංකිකයන්ගේ  ආහාර ඉල්ලුම සපුරාලීමට  දිවයිනම ආවරණය වන පරිදි සකස් කරන ලද පුළුල් වගා සැලැස්මක් නොමැති වීම හේතුවෙන් ගොවීන් ඔවුන්ගේ රුචිකත්වය පරිදි වගා කටයුතු වල නියැළීම නිසා ඇතැම් බෝග වල අතිරික්ත අස්වැන්නක් ඇතිවීමෙන් අස්වනු හානියට හේතුවක් වී ඇති බවද   කෝපා කමිටුවේ  සාමාජිකයින් ගේ අවධානයට යොමු විණි.

මේ වන විටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සෑම දෙසතියකට වරක් ඉදිරි දෙසතියක කාලසීමාව තුළදී වගා කිරීමට සුදුසු එළවළු වර්ග පිළිබඳ පූර්ව නිවේදනයක් ඉදිරිපත් කෙරෙන බෝග පුරෝකථන  වැඩසටහනක් ක්‍රියාත්මක වුවද මෙම ගැටලුව විසදීමට එය ප්‍රමාණවත් නොවන හෙයින් ඒ පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස කෝපා කමිටුවේ සභාපති තිස්ස විතාරණ මහතා කමිටුව හමුවට  පැමිණි  නිලධාරීන් වෙත දන්වා සිටියේය.

එමෙන්ම ,ඒ සඳහා  දිස්ත්‍රික් / ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු වල දායකත්වය ලබා ලබාගැනීමත්, එළවළු හා පලතුරු වගාවට අදාළව වගා සැලසුම් සම්බන්ධ මූලික උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ නියැළී සිටින  කෘෂි නිලධාරීන්ගේ සහභාගීත්වය වැඩි කිරීමත්, ගොවීන් හා ගොවීන් වෙත සෘජුවම සම්බන්ධ වන කෘෂිකර්ම උපදේශකවරුන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහායකවරුන් ප්‍රමාණවත් සංඛ්‍යාවකට නිසි පුහුණුවක් ලබා දීමටත්, අස්වැන්න ඇසිරීම හා ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් සිදු වන හානිය අවම කර ගැනීමටත්,ආහාර නාස්තිය අවම කර ගැනීම සඳහා විජලන ක්‍රම භාවිතය පිළිබඳවත්, ප්‍රවාහන වියදම මෙන්ම විශාල අතරමැදියන් පිරිසක් සිටීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වල තොග මිල හා එම අවට ප්‍රදේශය ම සිල්ලර මිල අතර වෙනසක් පැවතීම හේතුවෙන් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය  යොමු විය.

ශ්‍රී ලංකාවේ ගොවියා මෙන්ම පාරිභෝගිකයන් ද එක සේ  ආරක්ෂා කෙරෙන සම්මත කෘෂි ප්‍රතිපත්තියක්  පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ  මෙම කාරක සභාවට සභාපති මහාචාර්ය ගරු තිස්ස විතාරණ මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු දුමින්ද දිසානායක මහතා, ගරු දයාසිරි ජයසේකර මහතා, ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  මහත්මිය, ගරු ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

t

o

p