රෙදි පිළි ආනයනය තහනම ව්‍යාජ ප්‍රවෘත්තියක් !- අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

April 9, 2021

මේ දිනවල ජනමාධ්‍ය මගින්  ප්‍රචාරයක් ගෙන යන  රෙදිපිළි ආනයනය තහනම් කිරීම  සම්පූර්ණ ව්‍යාජ ප්‍රවෘත්තියක් බව අද පාර්ලිමේන්තුවේ දී  බතික් හා පේෂකර්මාන්ත  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

තමන් පැවසූයේ,  ආනයනික මුද්‍රිත බතික් රෙදිපිළි ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන්  පමණක් බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී  වාචික පිළිතුරු වටයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සදහන් කළේය.

 මුද්‍රිත බතික් රෙදිපිළි  විශාල වශයෙන් ආනයනය දේශීය බතික් කර්මාන්තයට මරු පහරක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා , අත්‍ යන්ත්‍ර රෙදිපිළි  සම්බන්ධයෙන් ද ඉදිරියේදී එබඳු ම ක්‍රමවේදයක් අනුගමනය කරන බව සඳහන් කළේය.

එසේ වුවද ජනමාධ්‍ය මගින් ප්‍රචාරයට පත් වූයේ  රෙදිපිළි ආනයනය තහනම් කරන බව පෙන්වා දුන් හෙතෙම එය සම්පූර්ණයෙන්ම  ජනතාව නොමග යවන  ප්‍රවෘත්තියක් බව ජනමාධ්‍යවේදීන්ට සිහිපත් කර සිටියේය.

මේ වන විට මෙරට  බතික් නිෂ්පාදකයින් 11,000ක් පමණ සිටින බව හදුනාගෙන ඇති බව  පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශ සතුව අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන සහ සැලසුම්  ඇති බව පාර්ලිමේන්තුව ට ප්‍රකාශ කළේය. ඒ අනුව , සෑම දිස්ත්‍රික්කයකම එක්  බතික් නිෂ්පාදන  පුහුණු මධ්‍යස්ථානයක් විවෘත වනු ඇති අතර , මේ වන විටත් එවැනි ආයතන  200 ක් රට පුරා පිහිටුවා තිබේ. ලබන වසරේ සිට  බතික් කර්මාන්තය සඳහා වන අමුද්‍රව්‍ය හිඟය නැති කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කිරීමට නියමිත බව මෙහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර තවදුරටත්  මහතා සඳහන් කළේය .

එසේම , ප්‍රාදේශීය වශයෙන් පවත්වාගෙන යන අත්යන්ත්‍ර පේෂකර්ම මධ්‍යස්ථාන සමහරක් වැසී යාමට කාර්මිකයන්ගේ හිඟය ,වෙළෙඳපොළ ගැටලු ,තාක්ෂණික ගැටලු මෙන්ම  මූල්‍ය හිඟය ද බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ඒ සම්බන්ධව පළාත් සභාව සමග සමීපව කටයුතු කර තත්ත්වය සාධනීය අතට වෙනස් කිරීමට  මේ වන විටත් පියවර ගනිමින් තිබෙන බවද සඳහන් කළේය.

මෙහිදී විශේෂයෙන්  ගරු කථානායකතුමන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින්, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ , තමා  සෑම කෙනෙකුටම අවම වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන එක් දිනකදී බතික් අදුමෙන්  සැරසෙනු පිණිස ඉල්ලීමක් කරන බවයි.

t

o

p