මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020 වසරේ නොවැම්බර් මස තෙක් ලැබූ ආදායම රුපියල් 445,319,656 ක් – සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

April 8, 2021

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020 වසරේ නොවැම්බර් මස අවසන් වන විට ලබා ඇති ආදායම රුපියල් 445,319,656 ක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

එම  ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට මේ දක්වා එහි පැමිණි ගුවන් යානා සංඛ්‍යාව 10206 ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020 වසරේ නොවැම්බර් මස අවසන් වන විට ගුවන්තොටුපළට පැමිණි මඟීන් සංඛ්‍යාව 58651 ක් බවත්, ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති මඟීන් සංඛ්‍යාව 73513 ක් බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය රජය සමයේ මෙම ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමට  කටයුතු කිරීම හේතුවෙන් එහි කටයුතු වලට බාධා එල්ල වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැති ඇතැම් භාණ්ඩ කටුනායකට රැගෙන යාමටද කටයුතු කර තිබෙන බව හෙතෙම පාර්ලිමේන්තුවේදී කීවේය.

එමෙන්ම බඩු හුවමාරු කිරීමේ කටයුතු දියුණු කිරීම සඳහා ගුවන් බඩු පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීම, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීම, වාණිජ ගුවන් යානා ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් ඇති කිරීම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා අනුගමනය කරන ඉදිරි පියවර බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කීවේය. 

MRO අංගනයක් ආරම්භ කිරීමට අවශ්‍ය ආයෝජකයන් සමඟ සාකච්ජා සාර්ථක අන්දමින් වර්තමානයේදී පවැත්වෙන බවද අමාත්‍යවරයා කීවේය.

t

o

p