කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවේ වරාය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට

March 25, 2021

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදු කරන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදි පැවති වාරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේදිය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය පසුබිම සකසා ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන අවසන් බවත්, බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වන වැඩපිළිවෙල කඩිනමින් සිදු කරන බවද අමාත්‍යවරය‍ා අවධාරණය කරන ලදි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා (ස.ජ.බ) විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එමෙන්ම ශ්‍රි ලංකාවට දොඹකර ගෙන්වීමේදි වරාය අධිකාරිය විසින් ශ්‍රි ලංකා රේගුව වෙත ගෙවිය යුතු බදු මුදල් නොගෙවීමට අදාළව ගොනු කොට ඇති නඩුව පිළිබඳවද මෙම කාරක සභාවේදි සාකච්ඡාවට ලක් කරන ලදි.

ඊට අදාළව රේගුව වෙත  ගෙවනු ලබන දඩ මුදලින් 50% නිලධාරින් වෙත ගෙවනු ලබන දීමනාවක් ලෙස ගෙවීමට සිදු වීම විශාල ගැටලුවක් වන බැවින් එම මුදල රජය වෙත ගෙවනු ලබන මුදලක් ලෙස අය කර ගැනීමට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු පාර්ශව සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමටද උපදේශන කාරක සභාවේ අවධානය යොමු විය.

තවද ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළව තීරණයක් ගැනීමේදි ගිණුම් කාරක සභාව සමගද මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ යුතු බවයි.

තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා නාවික ප්‍රවාහන සේවා ක්‍රියාක්මක කිරීම පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක් කළ අතර, එය නැවත ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශිය උපදේශක කාරක සභාව සමගද සාකච්ඡා කොට පියවර ගැනිමටද අවධානය යොමු කරන ලදි.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩබ්.ඩී වීරසිංහ මහතා, තිස්ස අත්තනායක මහතා, චාල්ස් නිර්මලනාදන් මහතා, එස්.එම්.එම් මුෂාරෆ් මහතා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහු එක්ව සිටියහ.

t

o

p