ගල්ලෙන් පොකුණ ආරණ්‍යයේ හිමියන් දාන වේල පිරිමහ ගන්නා විස්කෝතුත් “අලි කොල්ලෙක්”කොල්ල කාලා!

March 25, 2021

වයඹ පලාතේ දුෂ්කරම ගම්මානයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව, අදිකාරීගම, ගල්ලෙන් පොකුණ ආරණ්‍ය සේනාසනයේ දන්ගෙයට පසුගිය 16 වන දා අළුයම කඩා වැදුණු  වන අලියකු එහි තිබූ සහල්, සීනි, විස්කෝතු සහ කෙසෙල් ගෙඩි කාදමා පීරිසි පිඟන් බඩු පෙට්ටිය ද බිඳ
දමා එම ගොඩනැඟිල්ලට ද හානි කිරීම නිසා එහි වැඩ වෙසෙන එකම හිමි නම වන පූජ්‍ය අමුණුගම ධම්ම නිවාස හිමිපාණන් මහත් අසරණ තත්වයට පත් ව තිබේ. මේ වන විට අසූ හැවිරිදි  උන් වහන්සේ කවදත් එහි ගත කොට ඇත්තේ ඉතා දුෂ්කර කටුක දිවියකි.


දිවයිනේ සෙසු ප්‍රදේශ බොහොමයකට සාපේක්ෂව ඉතා  කටුක ගම්මානයක් වන එහි එම
ආරණ්‍යය සඳහා වන දායක පවුල් ඇත්තේ ද විසි හතරකි. පාරම්පරික කෘෂිකර්මයේ
යෙදෙන එම ගැමියන් නියඟය, වන අලි උවදුරු ආදියෙන් නිරතුරුව බැට කෑම හේතුවෙන් තමන් වහන්සේ සඳහා සලාක දානය සැපයීමේ අපහසුවෙන් පෙළෙන බව ධම්ම නිවාස හිමියෝ පවසති. එනිසා ඇතැම්  දිනවලට විස්කෝතුවක් ,හා කහට කෝප්පයක් වළඳා කුසගිනි නිවාගන්නා බව පවසන උන් වහන්සේ මෙවර පැමිණි වන අලියා ආරණ්‍යයේ දන්ගෙයට කඩා වැදී  එහි  තිබූ එම බිස්කට්,සහල්,සීනි සහ කෙසෙල් ගෙඩි කා දමා එහි  මැටි ගොඩනැඟිල්ලකට ද හානි කළ බව කියති.

“ඔය සතා ආවේ පාන්දර එක හමාරට විතර. ඇවිත් පැය බාගයක් විතර ඉව අල්ලලා තමයි, ඔය දන්ගේ ගේ කෑල්ල කඩලා ඕකේ තිබුණු කන්න පුළුවන් සේරම කාලා දැම්මේ. සමහර විට සතාට කෙසෙල් ගෙඩි පුසුඹ එන්න ඇති. වන සත්තුන්ගේ හැටි එහෙම තමයි. ඒ ගති වෙනස් කරන්න අපිට බැහැ. උන් දන්නේ බඩගිනි වුණාම බඩ පුරවා ගන්න විතරයි. එහෙම නැතුව මේක පන්සලක්. මේකේ තියන දේවල් සාංඝීකයි, මම මේකට රිංගුවොත් මේ බඩු කුඩු වෙනවා. මේ මඩුව කැඩෙනවා. මම මෙහෙම කළොත් මේ මිනිස්සුන්ට පාඩු වෙනවා වගේ දේවල් ඔය සත්තුන්ට තේරෙන්නේ නැහැනේ. අනික ඔය අලි මිනිස්සුන්ව මරන්නෙත් තමන්ගේ ජීවිතේට හානි වෙයි කියන බයට. අපි අනික් සේරටම කලින් ඒ ටික තේරුම් ගන්න ඕනේ’ ඒ හිමියෝ කියති.

‘එදා රෑ රාජාංගනේ පැත්තේ ඉඳලා පෝයට මෙහේ සිල් සමාදන් වෙන්න එන සුනිල් කියන කෙනාත් ආරණ්‍යයේ දන් සාලාවේ  නතර වෙලා ඉන්නකොට තමයි ඔය සතා දන්ගේ කැඩුවේ. ඒ වෙලාවේ මම නම් හිටියේ මගේ කුටියේ. කොහොම නමුත් මේ සතා තව මොන මොනවා කරාවිදෝ කියලා නොදන්න හින්දා මම ආරණ්‍යයේ මිණි ගෙඩිය ගැහුවා. ඒත්, ගමේ කිසිම කෙනෙක් ආවේ නැහැ. පස්සෙයි දන්නේ ඒ වෙනකොට අලි තිහක් විතර ගම්වැදිලා එයින් එකෙක් තමයි මේ ආරණ්‍යයට ආවේ කියලා. ඉතින්, ඒ මිනිස්සු කොහේ එන්නද?” මෙහි දී අපට ගම්වැසියන්ගෙන් දැන ගන්නට ලැබුණේ එලෙස වන අලි රංචු වල සිටින “ගැටවරයන්ට” වැඩි කෑම ප්‍රමාණයක් උවමනා නිසා ඔවුන් මෙසේ රැළෙන් වෙන් වී හිතුවක්කාර ලෙස තනිව කෑම සොයා ඇවිදින බව ය. එමෙන්ම මිනිසුන් හට ඇති නුහුරු බව, තනිව හැසිරීමේ දී දැනෙන බිය සැක නිසා ඔවුන් මිනිසුන්ට පහරදීමේ වැඩි නැඹුරුවක් පළ කරන බව ද අදිකාරී ගම ගැමියෝ කියති.

කෙසේ හෝ එහි අවසන් ප්‍රතිඵලය වූයේ  ධම්මනිවාස හිමියන් දානය අහිමි දිනවලට දවස පිරිමසා
ගත් දන්වේල වන විස්කෝත්තුවත් උන් වහන්සේට අහිමි වීමය.වන අලින් ගේ සාම්ප්‍රදායික වාසභූමි වූ වන කලාප වලට මෑත භාගයේ සිට එල්ල වන බරපතල හානි නිසා ව‍යඹ පළාතේ වන අලින්ගෙන් මිනිසුන්ටත් මිනිසුන්ගෙන් වන අලින්ටත් එල්ල වන තර්ජන ශීඝ්‍ර‍යෙන් ඉහළ යමින් තිබේ. එම බලපෑම මෙම අදිකාරී ගම ආශ්‍රිත කොක්මඩුව, තම්මැන්නාව, කටුපොතාන, ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකට තදින්ම බල පා ඇතැ‍යි ප්‍රදේශ වාසීහු කියති. ඒ අනුව අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්‌ෂණ හා පර්යේෂණ කවයේ සභාපති, පරිසරවේදී
සුපුන් ළහිරු ප්‍රකාශ් ගෙන් විමසීමක් කළෙමු.

“වයඹ පළාතේ අලි ඇතුන්ගෙන් සියයට හැටක් පමණ දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වලින්
පිටතයි. ඔවුන් තබ්බෝව සහ කහල්ල- පල්ලෙකැලේ අභයභූමි වලට සහ විල්පත්තු ජාතික උද්‍යානයට ගාල් කර විදුලි වැට මගින් ආවරණය කර ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම පාලනය කිරීමට දශක ගණනාවක් තිස්සේ උත්සාහ දැරුවත් අසාර්ථක වුණා. මේ වන විට මෙම කලාපයේ අලි ඇතුන් ජීවත්වන වාසභූමි සහ ඔවුන් විවිධ ප්‍රදේශ වලට ගමන් කිරීම සඳහා යොදා ගන්නා පටු බිම් තීරු හෙවත් අලි මංකඩවල් විනාශ කරමින් විවිධ මිනිස් ක්‍රියාකාරකම් සිදුකරමින් තිබෙනවා. එමගින් සිදුවන්නේ අලි- මිනිස් ගැටුම තව තවත් ඉහළ යාමයි. ඒ වගේම මේ සිදු කෙරෙන වන විනාශයන් තුළින් රටේ පවත්න නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමත් කණගාටුවට කරුණක්. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතු යි. 1940
අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු යි. ඒ වගේම 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය අනුවත් මෙකී ක්‍රියාකාරකම් නීති විරෝධී වෙනවා. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල කසල ගොඩට ඇද දමමින්.

එනිසා අදාළ වනාන්තර විනාශයන් වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් වයඹ කලාපයේ වන අලි වාසභූමි තිරසාර ලෙස සංරක්ෂණය කරමින් ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම අවම
කිරීමටත් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කඩිනමින් එහෙම නොකළොත් අනාගතයේ ඇතිවන විනාශය මෙතෙකැයි කියන්න බැහැ” ඔහු කීය.


තිලක් සේනාසිංහ

t

o

p