හින්දු විෂ්ණු දෙවියන් බෞද්ධ වුණේ කොහොමද?

March 19, 2021


සිරිලක බුදු සසුන සුරකින දෙවිඳුන් කවුරුන් ද යනුවෙන් නැගෙන පැනයකට පැහැදිලි පිළිතුරක් තිබේ. එනම් විෂ්ණු දෙවියන් යන්න ය. බෞද්ධ සූත්‍ර පිටකයේ හරය අනුව භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස විසින් භාර ගත යුතු බුදු සසුනේ ආරක්ෂාව දෙවි කෙනෙකුන් හට භාර කිරීම අපගේ දේශීය ජන සම්ප්‍රදායේ පමණක් සඳහන් වන්නකි.


ත්‍රිපිටක සාහිත්‍යයේ කිසිම තැනක සඳහන් නොවන දෙවි කෙනෙකුන් විසින් ලක්දිව බුදු සසුනේ පැවැත්ම භාර ගැනීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය මුල් වරට සඳහන් වනුයේ ලක්දිව පළමු ඉතිහාස මූලාශ්‍රය වන දීපවංශයේ ය. එහි එකොළොස් වන පරිච්ඡේදයේ සඳහන් එම පුවත ඊට පසු කලෙක ලියන ලද මහාවංශයේ හත්වන පරිච්ඡේදයේ
පස්වන ගාථා පාඨයෙන් ද තහවුරු වෙයි.


අපගේ වංශ කතා මූලාශ්‍රවල සඳහන් අන්දමට ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත වන බව දැනගත් බුදුන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ දී ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන ලෙස දන්වා ඇත්තේ සක් දෙවිඳුන් හට ය. පසුව සක් දෙවිඳුන් එම වගකීම උත්පල වර්ණ හෙවත් උපුල්වන් නම් දෙවි කෙනෙකුට පවරා තිබේ. ඒ එම කාලය වන විට ලංකාරක්ෂක දේවතාවා උපුල්වන් දෙවියන් බැවින් විය යුතු ය.


එමෙන්ම බෞද්ධ සාහිත්‍යයේ කිසිදු තැනක සඳහන් නොවන බුදුන් හා උපුල්වන් දෙවිඳුන් පිළිබඳ කතා ප්‍රවෘත්තියක් ගම්පොළ යුගයේ ලියන ලදැයි සැලකෙන මයුර සංදේශයේ ඇතුළත් ය. ඒ බෝසතුන් බුද්ධත්වයට පත් වනො මොහොතේ උපුල්වන් දෙවියන් දුන්නක් ද ගෙන මාර සේනාව බියට පත් කළ බවකි. අබෞද්ධ දෙවි වරුන් හට බෞද්ධ ආරෝපණ ලබා දීම පිණිස පසුකාලීන ගත් කතු වරුන් මෙබඳු කතා පුවත් සමාජගත කොට තිබේ. දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් ද මීට අතිශය සමාන කතාවක් ගෙතී ඇත.


මෙම උපුල්වන් දෙවිඳුන්ගේත් විෂ්ණු දෙවියන්ගේත් ශරීර වර්ණය ශ්‍යාම හෙවත් නිල් පැහැයෙන් යුතු වීම නිසා පසු කලෙක මෙම විෂ්ණු, උපුල්වන් යන දෙවිවරුන් එකම දේවත්වයකට පත්ව තිබේ. එහෙත්, ශරීර වර්ණය එක සමාන මුත් මෙම විෂ්ණු හා උපුල්වන් යනු දෙවිවරුන් දෙදෙනකු බව අලවල, ලංකාතිලක ආදී ශිලා ලේඛන මගින්
හා ගම්පොළ හා කෝට්ටේ යුගවල ලියැවුණු තිසර, පරෙවි සංදේශ කාව්‍යවලින් මනාව සනාථ වෙයි. නමුදු, අද වන විට දුරාතීතයේ සිට මෙරට ජනතාව විසින් අදහනු ලැබූ උපුල්වන් දෙවිඳුන්ගේ දේවත්වය භාරතීය හින්දු ත්‍රිමුර්තියට අයත් විෂ්ණු නම් ප්‍රධාන දෙවිඳුන්ගේ දේවත්වය තුළට සම්ප්‍රේෂණය වී තිබේ.

බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන හින්දු දේව ත්‍රිමුර්තිය තුළ විෂ්ණු දෙවියන්ට හිමි තැන වරින් වර උච්චාවචනයන්ට නැංවුණු අතර යම් යම් කාලවල දී බ්‍රහ්ම සහ ඊශ්වර ද විෂ්ණු දෙවියන් විසින්ම නිර්මාණය කරන ලද බවට මතවාද පැතිර තිබිණ.. ඒ කෙසේ හෝ බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන හින්දු ත්‍රිමුර්තියේ දෙවිවරුන් අතුරින් ක්ෂාන්තිවාදී ලක්ෂණ ඇති දෙවියන් ලෙස ද විෂ්ණු දෙවියන් හඳුන්වා තිබේ. ඒ බව විෂ්ණු, නාරදිය, නාගවන, ගරුඬ, පද්ම, වරාහ යන පුරාණ සාහිත්‍ය කෘතීන් මගින් තහවුරු වෙයි.

විෂ්ණු යනු මුළු ලෝකයේ ඇරඹුම, පැවැත්ම සහ විනාශය සම්බන්ධ අසමසම බලවේගය ලෙස සලකන විෂ්ණු භක්තිකයෝ ඔහු ජගන්නාථ ලෙස හඳුන්වති. එමෙන්ම එම පරිනාමීය පැවැත්ම විෂ්ණුගේ දස අවතාර වශයෙන් ප්‍රචලිත වූ අතර මෙම දස අවතාර සංකල්පය එකොලොස් වන සියවසේ දී පමණ සම්පූර්ණත්වයට පත්ව සමාජගත වන්නට ඇතැයි ඉන්දීය ඉතිහාසඥ ආර්.එල්. බෂාම් සූරීහු මත පළ කරති. සිංහල බෞද්ධයන් විෂ්ණු දෙවියන් බෞද්ධ කොට සළකන්නාක් මෙන් භාරතීය හින්දූහු බුදුන් ද විෂ්ණු දෙවියන්ගේ බල පරාක්‍රමයේ කොටසක් සේ සළකති.


මත්ස්‍ය (මාළුවෙකු) කුර්ම (ඉදිඹුවෙකු) වරාහ (සූකරයකු) නරසිංහ (අර්ධ මිනිසකු හා අර්ධ සිංහයෙකු) ආදී සංකේත මගින් පිළිබිඹු කෙරෙන විෂ්ණු භක්තිකයන්ගේ මෙලොව පරිනාම සංකල්පය පරශු රාම [පොරොවක් අතින් ගත් රාම], රාම සහ ක්‍රිෂ්ණ යන අවතාර මගින් උච්ච ස්ථානයට පත් වන බවත් ඉන් පසු එම දස අවතාරවල නවවන අවතාරය හෙවත් බුද්ධ මගින් මානව චින්තනයේ විප්ලවීය වෙනසක් කරන බවත් සඳහන්ය. ඉන් පසු එම දසවන අවතාර සංකල්පයේ දසවන හෙවත් කල්කී අවතාරය මගින් ලෝකයේ විනාශය සිදුවන බවත් ඉන් පැවසෙයි. මෙමගින් පැවසෙනුයේ බුදුන් යනු විෂ්ණුගේ අවතාරයක් මිස විෂ්ණු දෙවියන් යනු බුද්ධ ශ්‍රාවකයකු නොවන බවකි.

නමුදු රාම කුමරුන් යනු බුදුන්ගේ බෝධි සත්ත්ව ආත්මයක් බවට වූ විශ්වාසය මහනුවර යුගයේ දී පමණ අප ජන සමාජය තුළ ද පැතිර ගොස් තිබේ. එහි සඳහන් අන්දමට රාම යනු බුදුන් වහන්සේගේ පෙර භවයක් වන අතර සීතා යනු යශෝධරාවගේ පෙර භවයකි. මහනුවර යුගයේ දී කිරිමැටියාවේ මැති නම් කවියෙකු විසින් ලියන ලද මහා පදරංග ජාතකය නම් දීර්ඝ පද්‍යාවලිය එම කතා පුවත පදනම් කොට ගන්නා ලද්දකි. අද වුව ද යම්කිසි විස්තරයක් පමණ ඉක්මවා දීර්ඝ වන විට ‘මහා පදරංගේ වගේ’ යන යෙදුම භාවිත වනුයේ ඉහත සඳහන් දීර්ඝ පද්‍යාවලිය උපමා
කරමිනි.


හින්දු ආගමේ එන විෂ්ණු දෙවියන්ගේ බෞද්ධාගමික පසුබිම එසේ වුව ද බෞද්ධ සූත්‍ර පිටකයේ වෙණ්නු නම් දිව්‍ය පුත්‍රයෙකු පිළිබඳව සඳහන් වේ. එමෙන්ම මෙම වෙණ්නු දිව්‍ය පුත්‍රයා ධර්මය ඇසීමේ ප්‍රියතාවකින් යුක්ත වූවෙකු බව ද පෙනෙයි. වරක් බුදුන් හමුවට ගිය වෙණ්නු දිව්‍ය පුත්‍රයා තෙරුවන් සරණ ගිය පුද්ගලයා සැපයට පත් වූවෙකු බව ප්‍රකාශ කළ අතර යමෙකු ධ්‍යානශීලී වේද, බුද්ධ වචනයෙන් හික්මේ ද කුසලෙහි අප්‍රමාදී වේද හෙතෙම මාර වසඟයට නොපැමිණෙන බව බුදුන් ඊට පිළිතුරු දෙමින් දේශනා කළ බව සංයුක්ත නිකායේ දේව පුත්ත සංයුක්තයේ සඳහන් වෙයි. එමෙන්ම දීඝ නිකායේ අට්ඨ කතාවේ ද වෙණ්නු නම් දේව පුත්‍රයකු පිළිබඳ සඳහන් වේ.

ඒ අනුව ඉහත සඳහන් උත්පල වර්ණ හෙවත් උපුල්වන්, විෂ්ණු සහ බෞද්ධ සාහිත්‍යයේ එන වෙණ්නු යන දෙවිවරුන් එකම දෙවියකු සේ සැලකීමට ද බැරිකමක් නැත. කෙසේ හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය හා දැඩිවම බැඳුණු දේව සංකල්පයට මුල් වන විෂ්ණු දෙවියන් මතු බුදු වන බවට පවත්නා ජන විශ්වාසය මත එතුමන් කතරගම, දැඩිමුණ්ඩ, කාලි ආදී දෙවිවරුන් මෙන් බැතිමතුන්ගේ සතුරන්ගෙන් පළි නොගන්නා ශාන්තිවාදී දෙවියකු ලෙස ප්‍රකට වී තිබේ. එනිසාම ‘කාලයේ තාලයට’ විෂ්ණු දෙවියන්ගේ බෝධිසත්ව ස්වරූපය එතරම් නොගැළපීම නිසා දෝ එතුමන්ගේ කීර්තිය වර්තමාන තෘෂ්ණාභරිත සමාජය තුළ යම් අයුරකින් අවප්‍රමාණය වී ඇති බව අකැමැත්තෙන් හෝ පිළිගන්නට අපට සිදුවනු ඇත.


තිලක් සේනාසිංහ

t

o

p