ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට, තවත් අයෙක් ගැන විමර්ශන.

March 18, 2021

පහරදීමේ චෝදනා මත බණ්ඩාරගම හා බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර රක්ෂිතයේ ගස් කැපීමේ චෝදනාව යවටතේ බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.

අබාධිත හමුදා සෙබළෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවිරිදි මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. බණ්ඩාරගම පොලිස් වසමේ රයිගම ප්‍රදේශයේදි සැකකරු සෙබළාට පහර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට පත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අප්‍රේල් 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බියගම ප්‍රදේශයේ ආපන ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී කළ පහරදිමක් සම්බන්ධයෙන් බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බීමතින් පැමිණ මෙලෙස පහරදී ඇතැයි විමර්ශනවලදී හෙළිව තිබේ.

සැකකාර 43 හැවිරිදි මන්ත්‍රීවරයා අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

බද්දේගම දොලේකඩ ප්‍රදේශයේ රක්ෂිතයක් ආශ්‍රිතව ගස් කපා දැමීමක් සම්බන්ධයෙන් එක්ස්කැවේටරයක් සහ දැව කදන් 31 ක් පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. එසේ විමර්ශනය කරනුයේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් යැයිද ඒ මහතා කීවේය.

t

o

p