දස්කම් යන වදන සමග ගැවසෙන ඊළඟ යුගල පදය විස්කම් යන්න ය. මෙම විස්කම් යන සිංහල වදනේ සංස්කෘත ස්වරූපය විශ්ව කර්ම බව පැහැදිලි ය. ඇදහිය නොහැක. නිමැවුම් හඳුන්වාලීම පිණිස මෙම ‘විශ්වකර්ම’ යන වදන යෙදෙන අතර එවන් විස්මිත නිමැවුම්, ඉදිකිරීම් පිළිබඳව විස්තර කිරීමේ දී ඒක නම් විශ්වකර්ම වැඩක් යනුවෙන් පැවසීමට අපි ද පුරුදු වී සිටිමු.
එහෙත්, මේ විශ්වකර්ම යන සඳහන වෛදික, බෞද්ධ සේම අපගේ වංශකතා සාහිත්‍යයේ ද සඳහන් දිව්‍ය පුත්‍රයකු ගේ නාමයක් මුල්කොට ගත් එකක් බව ඔබ දන්නවාද? මෙම විශ්වකර්මයා යනු කවරෙකු දැයි අසන විට බොහෝ දෙනෙකුගෙන් ලැබෙන එක් පිළිතුරක් තිබේ. එනම් ශක්‍ර දේවේන්ද්‍රයාගේ ‘වඩුවා’ යන්න ය. නමුදු මෙම දිව්‍ය පුත්‍රයා සම්බන්ධ තොරතුරු විමසා බලන විට වඩු නාමයෙන් පමණක් හැඳින්වීම ඔහුට කරනු ලබන අපහාසයක් සේ ද යමෙකුට සිතෙන්නට පුළුවන. ඊට හේතුව භාරතීය වෛදික සංස්කෘතික මූලාශ්‍රවලට අනුව මෙම විශ්වයේ ඇති සියලු නිමැවුම්වලට අධිගෘහිත දේවතාවා මෙම විශ්වකර්මයා වීම ය. ඒ අනුව විශ්ව කර්ම හැඳින්වීම පිණිස යෙදිය හැකි හොඳම යෙදුම දිව්‍යමය නිමැවුම් කරු යන්න ය.කොටින්ම ඔහු දිව්‍යමය සංවර්ධන ව්‍යාපෘතීන් හි නියමුවා ය. වෛදික සාහිත්‍යයේ සමාරම්භක යුගයට අයත් ඍග්වේද යුගයේ වරුණ, ඉන්ද්‍ර, සූර්ය ආදී ප්‍රබල දෙවිවරුන් හට විශ්වකර්ම යන අභිධාන නාමය යෙදී තිබූ අතර පසුකාලීනව ඔහු වෙනම දෙවියකු ලෙස අදහන්නට පටන් ගෙන ඇති බවක් පෙනෙයි.
මහාභාරතය ලියැවුණු යුගය වන විට මෙම විශ්වකර්මයා දෙවිවරුන් සඳහා නගර සේම මන්දිර හෙවත් ස්ථාවර ගොඩනැගිලි, විමාන හෙවත් ජංගම මාලිගා සේම දෙවිවරුන් සඳහා වන ආරක්ෂක සහ යුද උපකරණ තනා දුන් කර්මාන්ත ශිල්පියා ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.
රාමායනයේ සඳහන් අන්දමට ලංකාපුරය රකුසන්ගේ වාසය සඳහා තනා දෙන ලද්දේ ද විශ්වකර්මයා විසිනි. ඒ මහා බ්‍රහ්මයා දුන් “කොන්ත්‍රාත්තුවකට” අනුව ය. එහෙත් විෂ්ණු දෙවියන්ගේ තෙද බලයට බියෙන් එහි රකුසන් පලා ගිය අතර පසුව එහි ධනයට අධිපති කුවේර තම වාස භවනය කර ගත්තේ ය. වෛදික සංස්කෘතියේ ප්‍රධාන තැනක් හිමි කර ගත් විශ්වකර්ම පසුව බෞද්ධ සාහිත්‍යයට පිවිස එහි ද යම්
තැනක් හිමිකර ගත් බව පෙනේ. සක් දෙවිඳුන් විසින් කරන ලද නියමයන්ට අනුව දෙව් ලොව සේම මනු ලොව විවිධ නිමැවුම් කිරීමට විශ්වකර්මයා ඉදිරිපත්ව ඇති බව බෞද්ධ සාහිත්‍යයේ පැවසෙනුයේ ඒ අනුව ය.
පන්සිය පනස් ජාතක පොතේ ද මෙම විශ්වකර්මයා සහ ඔහුගේ විස්මිත නිමැවුම් පිළිබඳව සඳහන් වෙයි. එහි 457 වන සුරැචි ජාතක කතාවේ එන මහාපතාද කුමරුන්ට විස්මිත මාලිගාවක් තනා දීමට සක් දෙවිඳුන් ගේ නියමයෙන් මිහිපිටට පැමිණෙන විශ්වකර්මයා අපට කිසිසේත් සිතාගත නොහැකි මාලිගාවක් තනයි. එහි දිග හා පළල යොදුන් බාගය බැගින් වන අතර උස යොදුන් විසි පහකි. එය මාල සියයකින් යුතු මාලිගාවක් බව ද පැවසෙයි. එම ඉදිකිරීම සඳහා විශ්වකර්මයා මිහිපිටට පැමිණෙනුයේ වඩුවකුගේ වේශයෙනි. පසුව එහි සිටින සෙසු වඩුවන් කෑමට ගිය අතරේ දී විශ්වකර්මයා තම රියන් දණ්ඩ හෙවත් කෝදුව පොළොවේ ගසන අතර එසැණින් එම විස්මිත මන්දිරය ප්‍රාදුර්භූත වෙයි. ඒ අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා විශ්වකර්මයා සතු කුසලතාව අපට සිහිනයකින්වත් සිතාගත නොහැකි බවක් පෙනෙයි.
වෛදික සාහිත්‍යයෙන් බෞද්ධ සාහිත්‍යයට පැමිණි මෙම දිව්‍යමය නිමැවුම්කරුවා අපගේ වංශ කතා සාහිත්‍යයට ද පිවිස ඇති අයුරු මහාවංශයෙන් ද පෙනේ. එහි දහ අට වැනි පරිච්ඡේදයේ ශ්‍රී මහා බෝධි ආගමනය පිළිබඳ සඳහන් වන තැන දී රන්කරුවකුගේ වෙසින් සිරිලකට පැමිණෙන විශ්වකර්මයා ශක්‍රයාගේ අණින් රියන් නවයක් විෂ්කම්භය ඇති, රියන් පහක් ගැඹුරු සහ අඟල් අටක් ඝනකම සහිත කටාරමක් නිමැවූ බව සඳහන්ය. එහි 26, 27 යන ගාථා පාඨවල එම විස්තර දැක්වෙයි.
නමුදු විශ්වකර්ම දේව පුත්‍රයාගේ රූපකාය
දැක්වෙනුයේ මහල්ලකුගේ
ස්වරූපයෙනි.
බොහෝ රූප සටහන්වල ඔහුගේ පිරිවර ද පසුබිමින් දැකිය හැක. විශ්වකර්මගේ සමීපස්ථ සතුන් වනුයේ පාත්තයා සහ
හස්තියා ය. දිව්‍යමය රථයකින්
ගමන්
ගන්නා ඔහු වලාකුළු මාවත ඔස්සේ තම රිය පදවන බව පැවසේ. ශ්‍රී ලාංකික ජන සමාජයට හුදෙක් නාම මාත්‍රයක්
පමණක් වන විශ්වකර්ම අදටත්
ඉන්දියාවේ
වැඳුම් පිදුම්වලට ලක්වන දෙවියෙකි. එම පුද පූජා සඳහා විශ්වකර්ම ජයන්ති නම් උත්සවයක් ද ඉන්දියාවේ පැවැත්වෙන අතර
එය හින්දු දින දර්ශනයේ
කන්‍යා
සංක්‍රාන්තියට හිමි සැප්තැම්බර් 16-19 අතර පැවැත්වේ. එමෙන්ම
හින්දූන්ගේ
දීපවාලි උත්සවයට පසුව සිදු කෙරෙන ගෝවර්ධන පූජාව සමග ද මෙම විශ්වකර්ම පූජා චාරිත්‍ර සිදු කෙරේ.
එමෙන්ම නවීන විද්‍යා තාක්ෂණික දියුණුව අතින් බොහෝ දුරක් ඉදිරියට ගොස් ඇති ඉන්දියාවේ විද්‍යා තාක්ෂණික, ඉදිකිරීම් ආදී භෞතික සංවර්ධනය මුල් කොටගත් සෑම විෂය ක්ෂේත්‍රයක් සමගම විවිධ ආකාරවලින් විශ්වකර්ම සැමරීම ද සිදු කෙරේ. ඒ අනුව එහි භෞතික සංවර්ධන කටයුතු වලට යම් ආධ්‍යාත්මික මුහුණුවරක් ද දී ඇති බවක් පෙනෙයි. අප ජීවත් වන විශ්වයේ සිදු වන සෑම නිර්මාණශීලීත්වයක් තුළම යම් ආධ්‍යාත්මික පසුබිමක් ඇති බවත් එම පසුබිම මුල්කොට ගත් විශ්වකර්ම සිහි කිරීමෙන් හා පුද පූජා පැවැත්වීමෙන් එම කටයුතුවල පරිපූර්ණත්වය උදා වන බවත් හින්දු ආගමික පසුබිමක් සහිත ලෝක ප්‍රකට ඉන්දීය විද්‍යාඥයෝ කියති. ඒ අනුව විශ්වකර්ම ඇදහීම සාධාරණය කිරීමට අපට නොහැකි වුවත් අප ජන සමාජයේ හුදෙක් නාම මාත්‍රික සංකල්පයක් පමණක් වන මෙම විශ්වකර්මයා මුල්කොට හෝ විද්‍යා තාක්ෂණික වශයෙන් තවදුරටත් ඉදිරියට ගමන් කළ හැකි නම් එමගින් ඒ ඔස්සේ සිදුවන සංවර්ධනයේ නාමයෙන් සිදුවන අනේකවිධ අවභාවිතයන් වළකා ගැනීමට හෝ හැකියාවක් ලැබෙනු ඇත.
තිලක්
සේනාසිංහ