කුඩා දරුවන් හෝ මෝහනයට පත් කරනු ලැබූ වැඩිහිටියන් විසින් කරනු ලබන තම පෙර ආත්මය පිළිබඳ විස්තර ශ්‍රී ලාංකික අපට අතිශයින් හුරු පුරුදු ය. එහෙත්, ජනමාධ්‍ය මඟින් ප්‍රචලිත වූ සහ නොවූ එවැනි පුනරුප්පති කතා සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ මට ඒ සියල්ලම නොමඟ යෑම් සහ නොමඟ යැවීම් බව මනාව තහවුරු කර ගත හැකි විය. නමුදු ඒ අතරේ මගේ සිරුර ලොමුදැහැ ගැන්වීමට සමත් වූ පුනරුප්පත්ති ගවේෂණ අත්දැකීමක් ද තිබේ.
ශ්‍රී ලාංකේය මෝහන ප්‍රසංග කලාවේ පීතෘත්වය හිමි කර ගනිමින් අප රට පුරා මෝහන රංග, සංසාර මන්දිර යන ජනකාන්ත මෝහන ප්‍රසංග පැවැත් වූ ආචාර්ය නෙවිල් ද සිල්වා මහතාගේ ඇසුරේ දී ලත් එම සුවිශේෂ අද්දැකීම මෙලෙසිනි. මෙම පුනරුත්පත්ති ගවේෂණය සිදුවූයේ 2002 ජූලි මාසයේ ය. ඒ රාජගිරියේ පිහිටි ආචාර්ය නෙවිල් ද සිල්වා මහතාගේ මෝහන චිකිත්සාගාරයේ දීය. මෙම ගවේෂණයට බඳුන් වූ තැනැත්තා ගාල්ල ප්‍රදේශයේ අයෙකි.
අපි ඔහු මෙහි දී ‘සමන්’ යනුවෙන් හඳුන්වමු. එවකට ඔහුගේ වයස අවුරුදු තිස් හයකි. ප්‍රදේශයේ තරමක සරු ව්‍යාපාරයක හිමිකරුවකු වුව සමන් ඒ වන විට ද අවිවාහකව සිටියේ ය. තමන්ගේ ශරීරයේ කිනම් හෝ අංගයක අඩුපාඩුවක් හෝ කුඩා බවක් ඇතැයි පුහු බියක් දනවන මානසික රෝගයක් ඇත. එය හැඳින්වෙනුයේ Dysmorphia යනුවෙනි. බොහෝ විට නව යොවුන් වියේ දී හටගන්නා එම පුහු බිය තත්ත්වයට පත්වන තරුණ තරුණියන් සිතනුයේ තම නාසය ඇද බව ය. නැතහොත් මුහුණේ ප්‍රමාණය විශාල බව ය. නැතිනම් හකු ඇට එක සමාන නැති බව ය. ඇතැම් තරුණයන් අඩුපාඩුව දකින්නේ තම පුරුෂේන්ද්‍රිය වෙතිනි. සමන් ද එවන් තත්ත්වයක පසුවූවෙකි.
වසර තිස් හයක් වනතුරු ම සමන් අවිවාහකව සිට ඇත්තේ ද සිය පුරුෂේන්ද්‍රියේ ප්‍රමාණය සම්බන්ධයෙන් ඔහු තුළ බලපැවැත්වුණු මෙම පුහු බිය නිසා ය. විවාහක සතුටක් සඳහා එය ප්‍රමාණවත් නැතැයි ඔහු සිතන්නට ඇත. මෙය හුදු සමන් තුළ පවත්නා පුහු බිය තත්ත්වයක් මිස කායික තත්ත්වයක් නොවන බව වටහා ගත් ගාල්ල ප්‍රදේශයේ කායික වෛද්‍යවරයකු සිල්වා මහතා වෙතට සමන් යොමු කොට තිබිණ.
මෝහන චිකිත්සාවෙහි සිල්වා මහතා දැක්වූ හපන්කම් පිළිබඳ වැටහීමක් ඇති විවිධ කායික ක්ෂේත්‍රවලට අයත් වෛද්‍යවරු මෝහන චිකිත්සාවට සුදුසු යැයි සැලකෙන තම රෝගීන් එලෙස සිල්වා මහතා වෙතට යොමු කරති. සාමාන්‍යයෙන් සිල්වා මහතා රෝගියකු මෝහන චිකිත්සාවට ලක් කරනුයේ එක් වරකි. නමුත් බරපතළ මානසික විෂමතා ඇත්තවුන්ගේ මනෝ විශෝධනය පිණිස දෙවරක් හෝ තුන්වරක් මෝහන චිකිත්සාවට ලක් කිරීමට සිල්වා මහතාට සිදුවෙයි. සමන් ද එසේ දෙවන වරටත් කැඳවා ගැනුණු අයෙකි.
කෙසේ හෝ මෙවර මෝහන චිකිත්සාව සිදු කෙරෙන අතරේ ඉහත ආත්මයට ද ගොස් ආපසු ඒමට අවස්ථාවක් හිමි වන බව දැනගත් සමන් ද ඊට අනුමැතිය ලබා දුන්නේ මහත් සතුටිනි. වර්තමානයේ සිට ළමාවිය තෙක් මෝහන ප්‍රතිගමනයට ලක් කෙරුනු ඔහු සිල්වා මහතා විසින් ඉතා පහසුවෙන් පෙර ආත්මය කරා ගෙන යන ලදී. පෙර ආත්මයේ තමන් රත්නපුර ප්‍රදේශයේ වීරසිංහ නමැත්තෙකු බව සමන් මෝහනයෙන් කියනු මම ද කිසිදු විමතියකින් තොරව අසා සිටියෙමි. මක්නිසා ද මා ඉන් පෙර ද මෝහනයට පත් විවිධ පුද්ගලයන් වෙතින් එබඳු නානා විධ ඉහත ආත්මවල තොරතුරු අසා තිබූ බැවිනි.
නමුදු ඉහත ආත්මයේ තොරතුරු පිළිබඳව විස්තර විමසීමේ දී මෝහනය තුළ දී නළල රැලි ගන්වාගෙන බරපතළ කල්පනාවකට වැටී සමන් ඒ බොහොමයකට පැහැදිලි පිළිතුරක් දීමට අසමත් විය. නමුත් තමන් රත්නපුරේ වීරසිංහ දුම්රිය සේවකයකු බව පමණක් හෙතෙම කීය.
මෝහනයෙන් ඉහත ආත්මයට ගෙන යන ඇතැම් පුද්ගලයන් වෙතින් පළවනුයේ මෙබඳු නිහැඬියාවකි. එසේ ම බොහෝ දෙනෙකු මෝහනය මඟින් පෙර භවය පිළිබඳ පරස්පර විරෝධී ප්‍රකාශ ද කරනු මම කොතෙකුත් අත්දැක ඇත්තෙමි. අසන්නා තුළ පැහැදිලි චිත්‍රයක් මැවෙන අයුරින් තම පෙර භවය විචිත්‍රවත්ව ඉදිරිපත් කළ හැක්කේ මෝහනයට පත්වන්නවුන් ගෙන් සීමිත පිරිසකට පමණි. “එතකොට වීරසිංහ කොහොමද මැරුණේ?” රත්නපුරේ වීරසිංහ නමින් පෙනී සිටි ගාල්ලේ ‘සමන්’ ගෙන් සිල්වා මහතා විමසී ය. එවිට මෝහනයේ දී වීරසිංහ බවට පත්ව සිටි ඔහුගේ මුහුණේ මාංශපේෂීන් වේදනාත්මකව නලියනු මට ද හොඳින් පෙනුණි. “මං ආපු කෝච්චිය පෙරළුණා. මාව වෙළේ මඩ අස්සේ හිරවුණා. බේරාගන්න කවුරුවත් හිටියේ නෑ ” හෙතෙම වේදනාත්මකව කෙඳිරීය. “කොහෙදී ද වීරසිංහ ආපු කෝච්චිය පෙරළුණේ?” සිල්වා මහතා ඔහුගේ සවනට මුව ළංකරමින් විමසීය.“මීරිගම විල්වත්තේදී” ඒ වන විට වීරසිංහ බවට පත්ව සිටි සමන් කීය.
“මීට කාලෙකට ඉස්සර මීරිගම විල්වත්තේදී ලොකු දුම්රිය අනතුරක් නම්
වුණා තමයි” සමන්ගේ එම
පිළිතුරත් සමඟ මම සිල්වා මහතාට කීවෙමි. ඒ අනුව සිල්වා මහතා මා කී දෙය හිස සලමින් අනුමත කළේ මා හා කතා
කළ හොත් ඉන් සමන්ගේ මෝහන
නිද්‍රාවට බාධා වන බැවිනි. “එහෙම නම් අපි
සම්පූර්ණ විස්තරේ අහමු” සමන්ගේ එම පිළිතුරින් දිරිමත් වූ මම කීවෙමි. නමුදු ඒ වන විට මා කී කිසිවක් සමන්ට නොඇසෙන ලද්දේ තම
කට හඬ හැරුණු කොට අන්
කිසිවක් නොඇසෙන බවට සිල්වා මහතා සමන්ට දී තිබූ මෝහන විධානය නිසාය.
“කොයි අවුරුද්දෙ ද වීරසිංහ ඔය අනතුර සිද්ධ වුණේ?” සිල්වා මහතා ඇසී ය.
“මට මතක හැටියට එක්දාස් නවසිය හැට හතරේ. ඒක තලෙයිමන්නාරමේ ඉඳලා ආපු කෝච්චිය. ඉන්දියාවේ ඉඳලා නැවෙන් තලෙයිමන්නාරමට එන මිනිස්සු කොළඹ එන්නෙත් ඒ කෝච්චියෙන්. මං කෝච්චියට නැග්ගේ අනුරාධපුරෙන්. කෝච්චිය මීරිගම, විල්වත්ත වංගුවේදී සෑහෙන ස්පීඩ් එකකින් ඇවිත් එකපාරටම බ්රේක් කරනවා විතරයි මට මතක” ඉකුත් ආත්මයේ වීරසිංහ නමින් පෙනී සිටි සමන් කීය.
“ඔය කියන දුම්රිය අනතුර මුළු රට ම කම්පා කරවපු එකක්. ඔය අනතුරින් වීරසිංහත් එක්ක තව කී දෙනෙක් මැරුණ ද?” සිල්වා මහතාගේ
මූලික ප්‍රශ්න කිරීම් වලින් පසුව
මෝහන නිද්‍රාවේ සිටි සමන්ට මගේ කටහඬ ද ඇසිය යුතු බවට සිල්වා මහතා දුන් මෝහන විධානයෙන් පසු මම ප්‍රශ්න කළෙමි.
“මට හරියට ම ගාණ මතක නැහැ. විසි දෙකක් විතර තමයි මතක. තවත් සෑහෙන
ගාණක් තුවාල වුණා. බිම
හැමතැන ම ලේ තිබුණා” සමන් කීය.
“වීරසිංහ එක්ක වෙන කවු ද ඒ ගමන ආවේ?” අනතුරුව මම
ඇසීමි.
“පෙරේරා කියලා ගාල්ලේ කෙනෙක්. එයා මාත් එක්ක කොහොමත් හොඳ නැහැ.
එයත් රේල්ලුවෙමයි වැඩ
කළේ” සමන් කීය.
“එතකොට පෙරේරාට මොක ද වුණේ?” මම ඇසීමි.
“පෙරේරා මහ එපා කරපු මිනිහෙක්. ඒ වෙලාවේ මාව එරෙනවා බල බලා මිනිහා පණ බේරා ගත්තා. මාව පෙට්ටියත් එක්ක ම මඩේ එරුණා.” සමන් කීයේ හැඬුම් ස්වරයෙනි.
“එහෙම නම් කෝච්චියටත් බරපතළ හානිවෙන්න ඇති” අනතුරුව යටි අදහසක්
සිත තුළ සඟවා ගත් මම සමන්
ගෙන් ඇසීමි.
“අපි ආපු පෙට්ටි දෙක ම කුඩු වුණා. මාව මැරුණේ ඒ පෙට්ටිවල කෑලියි, මඩයි අතරේ හිරවෙලා” සමන් කීයේ වේදනාත්මක කෙඳිරියක් ලෙසිනි.
“වීරසිංහ එතනදී ම මරුණා නම් වීරසිංහ එක්ක හිටපු පෙරේරා පණ
බේරගත්තු බව කෝච්චියේ පෙට්ටි
දෙකක් කුඩු වුණු බව විසි ගණනක් මරුණු බව තව පිරිසක් තුවාල ලබපු බව වගේ දේවල් දැනගත්තේ කොහොමද?” මගේ එම ප්‍රශ්නයෙන්
මෝහන නිද්‍රාවේ සිටි
සමන්ගේ නළලතෙහි රැලි කිහිපයක් මතු විය. එසේ විනාඩි දෙකක් පමණ නිහඬව සිටි ඔහු පසුව යළි කට හඬ අවදි කළේ ය.
“මැරුණට පස්සේ මාව අහසේ පාවෙන්න පටන් ගත්තා. එතකොට තමයි මම ඒ
විස්තර සේරම දැක්කේ. ලොරිවලින්
තුවාලකාරයෝ ගෙනියන හැටි, මිනිස්සු කෑගහන හැටි මං අහසේ ඉඳලා බලාගෙන හිටියා” සමන් දුන්නේ එබඳු පිළිතුරකි. ඉන්පසු මෝහන
නිද්‍රාවෙන් පුබුදුවනු ලැබූ
සමන්ගෙන් ප්‍රශ්න විචාරීම ඇරඹිණි.
තමන් රත්නපුර වෙසෙන වීරසිංහ නැමැත්තකු
පිළිබඳව කිසිදා අසා නොමැති බව මෝහන නිද්‍රාවෙන් පිබිදුණු සමන් සහතිකව ම කියා සිටියේ ය. එහෙත් කුඩා
කාලයේ සිට දුම්රිය
සම්බන්ධයෙන් තමන් තුළ අමුතු ම බියක් පවතින බවත් දුම්රියකින් ගමනක් බිමනක් යාම තබා දුම්රියක් දැකීමටවත් කුඩා කල සිට තමන් තුළ
බියක් තිබූ බවත් හෙතෙම කීය. ඉන්පසු සමන් තුළ පැවැති එම පුහු බිය තත්ත්වය ද
මුළුමනින් ම පහ කොට දැමීමට තව
එක්වරක් මෝහන චිකිත්සාවේ යෙදිය යුතු බව සිල්වා මහතා දන්වා සිටියේ මා වෙත දක්වනු ලබන සුවිශේෂ අනුග්‍රහයක් ද ලෙසිනි.
ඒ අනුව දැනට තමන් විසින් දෙනු ලබන පශ්චාත් මෝහන විධාන (PHS Post hypnotic suggestions) පිළිපැද දෙසතියකින් යළි පැමිණෙන ලෙස සිල්වා මහතා සමන්ගෙන් ඉල්ලා සිටියේ ය. සාමාන්‍යයෙන් මෙබඳු විමර්ශනයකින් පසු සතුටින් සහ සැහැල්ලුවෙන් නිවසට එන මා එදින රාත්‍රී නිවසට පැමිණියේ සිතට තරමක බැරෑරුම් බවක් ආරෝපණය කර ගනිමිනි. ඒ සමන්ගේ පුනරුත්පත්ති සිද්ධිය එක්වර ම ඉවත හෙළිය නොහැක්කක් බැවිනි. මේ සම්බන්ධ වැඩිදුර කරුණු විමර්ශනය කළ යුතු ය වන නිගමනයේ පසු වූ මම විල්වත්ත දුම්රිය අනතුර පිළිබඳ විස්තර සටහන්ව ඇති ලේඛන සෙවීමට පටන් ගතිමි.
සිරිසේන රාජපක්ෂයන් ලියූ “ශ්‍රී ලංකාවේ
දුම්රිය ගමනා ගමනය” නම් කෘතිය මගේ අතට හසුවූයේ එවිට ය. මුළු රට ම මහත් කම්පාවකට ලක් කළ
එම අනතුර සම්බන්ධයෙන් එහි 254 වන පිටුවෙහි
මෙසේ සඳහන්ව තිබිණ.
දිනය : 1964 ඔක්තෝබර් 17 සෙනසුරාදා. වේලාව : පෙ.ව. 6.18 ස්ථානය : මීරිගම දුම්රිය පොළට මඳක් උතුරින් පිහිටි විල්වත්ත දුම්රිය හරස් ගේට්ටුව අසල. දකුණු ඉන්දියානු දුම්රිය සේවය සම්බන්ධ කරමින් තලෙයිමන්නාරම් තොට සිට කොළඹ බලා පැමිණි අංක 400 දරන ශීඝ්‍රගාමි දුම්රිය මෙදින ධාවනය වූයේ එම්. 2 වර්ගයේ අංක 572 දරන කැනේඩියානු ඇන්ජිමෙනි. දුම්රියට පැරණි පන්නයේ දැවයෙන් නිමැවුණු මගී මැදිරි 4ක්, භෝජන මැදිරියක් හා නිදන මැදිරියක් ද විය. පර්ෂල් පැටවූ තිරිංග මැදිරි දෙකක් හා බඩු පෙට්ටි 1 කින් ද ඉතිරි කොටස සමන්විත විය. තරමක වංගුවක් සහිත මෙම පෙදෙසෙහි පැ. සැ. 35 ක වේග සීමාවක් විය. එහෙත් දුම්රිය එම අවස්ථාව වන විට පැ. සැ. 48 ක වේගයකින් ධාවනය වූ බව පසුව හෙළි විය. අඹේපුස්සෙන් දුම්රිය පිටත් වී විනාඩි තුනකින් අනතුරට ලක්විය. එන්ජිමත් ඉදිරියෙන් වූ බඩු පෙට්ටි නවයකුත් වෙන්වී අඩි 1010ක් දුරට ඇදී ගොස් තිබුණි. පිටුපසින් වූ දැවයෙන් නිම වූ මැදිරි හතරක් කැබලිවලට කැඩී විනාශ විය. මගීන් විසිදෙකක් මියගිය අතර අසූඅට දෙනකුට තුවාල සිදුවිය. පරීක්ෂණවලදී නිගමනය වූයේ රෝද හතරේ බඩු පෙට්ටි සහිත මිශ්‍ර දුම්රියකට එකී වේගය අධික බව ය. මැදින් වූ බඩු පෙට්ටියක් පීලි පැන ඉනික්බිතිව පසු පස වූ මැදිරි එකි‘නෙක පැන පසෙකින් වූ කුඹුරෙහි එරී ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.
ලංකා දුම්රිය සේවයට සම්බන්ධ වීරසිංහ
නමැත්තකු වශයෙන් ජීවත්ව සිට ඉහත සඳහන් දුම්රිය අනතුරින් මියගිය බව පැවසූ සමන් වැඩිදුරටත් කියා
සිටියේ වංගු සහිත මාර්ගයක
ගමන් කරමින් සිටි දුම්රියේ තිරිංග එක්වර ම තදවීමක් පිළිබඳව සඳහන් නොවේ. මගේ උපන් ගම වන ගණේමුල්ලේ, තිබ්බටුගොඩ
පදිංචි සී.එෆ්.ඊ. හේවාපන්න මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මෙම අනතුර සිදුවන සමයේ රාජකාරි
කළ බැවින් ඒ සම්බන්ධයෙන්
පැහැදිලි මතකයන් ඔහු සතුව තිබිණ. ඒ අනුව මේ පිළිබඳව විමසනු පිණිස ඔහු හමු වූ මම මෙම දුම්රිය අනතුරට හේතුව වශයෙන් එකල
අනාවරණය වූයේ කුමක්දැයි විමසා
සිටියෙමි. ඔහු එහි දී පවසා සිටියේ දුම්රිය මාර්ගයේ වේග සීමා නොතකා ධාවනය කිරීම සහ ඒ අතරේ ක්ෂණිකව තිරිංග ක්‍රියා කරවීම
මත මෙම අනතුර සිදු කළ බවට
එහි රියැදුරාට එරෙහිව දෙපාර්තමේන්තුව විසින් චෝදනා පත්‍රයක් යොමු බවක් තමන්ට ඉතා හොඳින් මතක බව ය. එමෙන්ම මම එම
දුම්රියේ ගමන් කරමින් සිටි
දුම්රිය සේවකයකු ද මියගිය පිරිස අතරේ සිටි බවට ද ඡායාමාත්‍රික මතකයක් ඇති බව ද කී හේවාපන්න මහතා ඔහු පිළිබඳ වැඩි විස්තරයක් මේ මොහොතේ තම මතකයට නොනැගෙන බව ද කීය.
කෙසේ හෝ 1964 ඔක්තෝබර් 17 සෙනසුරාදා සිදුවූ මීරිගම විල්වත්තේ දුම්රිය අනතුර පිළිබඳ “සමන්” කරන ප්‍රකාශයෙහි තවදුරටත් විමසිය යුතු කරුණු ඇතැයි මට සිතිණ. ඒ එම අනතුරින් දෙවසරකට පසු 1966 වසරේ උපන් සමන් තුළට එම අනතුර සම්බන්ධයෙන් එතරම් පැහැදිලි මතකයක් ආරෝපණය වූයේ කෙසේදැයි නිවැරදිව දැනගනු පිණිස ය.
ඉන්පසු එළැඹි දින කිහිපය පුරාම මෙම ගැටලුව නිරන්තරව මගේ මනැසට වද දෙන්නට විය. එබැවින්, ඊට ආසන්න ම දිනයෙක කොළඹ රාජ්‍ය ලේඛණාගාරය වෙත ගිය මම එම දුම්රිය අනතුර සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් වාර්තා පිරික්සන්නට වීමි. ඒ අතරේ මට උන්හිටි තැන් අමතක වූයේ එම අනතුරට පසු දින පුවත්පත්වල එම අනතුරින් මියගිය අය අතරේ රත්නපුරයේ එන්.පී. වීරසිංහ නමැත්තකුගේ නමක් සටහන්ව තිබෙනු දැකීමෙනි. තමන් වීරසිංහ නම් දුම්රිය සේවකයකු බව මෝහනය මගින් සමන් හෙළි කළ අතර පුවත්පත් මගින් පැවසුණු අන්දමට මෙම අනතුරින් මියගිය රත්නපුර වීරසිංහ ද වෘත්තියෙන් දුම්රිය රියැදුරෙකි. එමෙන් ම එම පුවත්පත්වල පළ වූ ඇතැම් විස්තර එම සමන්ගේ ප්‍රකාශ සමඟ කදිමට ගැළපෙයි. අනතුරට පත් දුම්රියේ ගමන් කළ මන්නාරමේ පොලීසියේ සේවය කළ එස්. ජයසිංහ නම් මහතකු ඊට පසුදා නිකුත් වූ “රිවිදින” පත්‍රයට ප්‍රකාශ කොට තිබුණේ මීරිගමට ආසන්න වන විට දුම්රිය පැයට සැතපුම් පනහක පමණ වේගයකින් ගමන් කළ බවත් සිග්නල් කණුවක් ළංවනවාත් සමඟ ම දුම්රියේ බ්රේක් අල්ලන ශබ්දය තමන්ට ඇසුණු බවත් ය. ඉන්පසු සිදුවූ කිසිවක් තමන්ට මතක නොමැති බවකි.
එමෙන්ම එම අනතුරට ලක් වූ මැදිරි අතරින් දෙකක් සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වී තිබූ බව ද එම
පුවත්පත් වාර්තාවල සඳහන් විය. අද සමාජයේ බොහෝ දෙනකු සිතන අන්දමට ඉහත සඳහන් පුවත්පත් වාර්තා නිරීක්ෂණයෙන් පසු මගේ අවධානය යොමු විය යුත්තේ රත්නපුර ප්‍රදේශයට ය. එම අනතුරින් මළ එන්. පී. වීරසිංහ නම් දුම්රිය රියැදුරා රත්නපුර මොරගහයට (ඇතැම් පුවත්පතක මොරගහයාය ලෙස ද සඳහන්ව තිබිණ) පදිංචිකරුවෙකි. ඒ අනුව 2002 වසරේ එම ප්‍රදේශයට ගොස් මෝහනයෙන් පුනරුත්පත්තිය හෙළි කළ තිස් හය හැවිරිදි ගාල්ලේ සමන් ගේ පූර්ව ආත්මය වශයෙන් ඊට වසර තිස් අටකට පෙර මීරිගම විල්වත්ත දුම්රිය අනතුරට ලක් වූ එන්. පී. වීරසිංහ දුම්රිය රියැදුරු තැනගේ ඥාතීන් හමුවී එම කතාව”රසවත්” අයුරින් ඉදිරිපත් කළ හැක.
එය සිංහල පුවත්පත් පාඨකයන්ගේ මනැස උඩු යටිකුරු කරන පුනරුත්තපත්ති කතාවක් වනු ඒකාන්ත ය. මගේ මෙම ගවේෂණය යථාර්ථ්වාදී මංපෙත් ඔස්සේ ඉදිරියටත් මෙහෙයවීමට මට අවශ්‍ය විය. එහි දී මගේ මූලික අවධානයට ලක් වූ කරුණු කිහිපයක් තිබිණ. රත්නපුරේ වීරසිංහ නමින් ඉදිරිපත් වූ සමන්ගේ ඉහත ආත්මය තම ජීවන තොරතුරු සියල්ල සඟවා තම වෘත්තීය සහ මරණය පිළිබඳව පමණක් ව්‍යක්ත අනාවරණයක් සිදු කළේ මන්ද? එමෙන්ම ගාල්ලේ සමන්ගේ සිත තුළ සිය රෝගයට අමතරව ඒ වන විටත් දුම්රිය සම්බන්ධ යම් අහේතුක බියක් ඇතිව තිබේ. එය ඔහුගේ බාල කාලය හා කිසියම් සම්බන්ධ වූවක් විය නොහැකි ද? ඒ අනුව මේවා මුල් කොට සමන් ව යළි විශේෂ විමසුමකට ලක් කළ යුතු යැයි මට සිතිණ..
ඉහත සඳහන් සංසිද්ධිය පිළිබඳව සම්පූර්ණ විස්තරය නෙවිල් ද සිල්වා මහතා වෙත දන්වා සිටි මම ඊළඟ දිනයේ දී සමන් වෙතින් ම එතෙක් හෙළි නොවූ පුනරුත්පත්ති අබිරහස අනාවරණය කරගත යුතු බව ද අවධාරණය කළෙමි. ඒ අනුව සමන් මෝහන චිකිත්සාව සඳහා පැමිණෙන දිනය තරයේ ම` සිත තුළ සනිටුහන් කරගත් මම එදින වෙනදාටත් කලින් රාජගිරියේ පිහිටි සිල්වා මහතාගේ මෝහන චිකිත්සාගාරය වෙත ගියෙමි. ඒ වන විට මෙම අබිරහස මට ද මානසික වධයක් වී තිබීම ඊට බලපෑ ප්‍රධානතම හේතුව විය.
ඒ වන විට තම පුරුෂේන්ද්‍රිය සම්බන්ධයෙන්
පැවැති පුහු බිය සමන් කෙරෙන් බොහෝ දුරට පහව ගොස් තිබූ අතර එය ඔහුගේ නොමඳ සොම්නසට හේතු වී
තිබිණ.
“සමන්ගේ හිතේ කෝච්චි ගැනත් බයක් වගේ දෙයක් තියෙනවා කිව්වනේ. අපි
ඒකත් අයින් කරමු නේද?” සිල්වා මහතා එසේ
පවසත්ම එය සමන්ගේ සොම්නස වඩාත් තීව්‍ර කිරීමට හේතුවිණි. ඒ අනුව සිල්වා මහතා විසින් සමන් නැවත මෝහන
නිද්‍රාවට ලක් කරන ලදී.
“එතකොට මං ඉස්කෝලේ පහේ. අපේ ගෙදරට නිතර ම යන එන මනුස්සයෙක් හිටියා. ඒ මනුස්සයගේ නම පෙරේරා. ඉස්සර වැඩ කරලා තියෙන්නේ රේල්ලුවේ.” මීට පෙර මෝහන නිද්‍රාවේ දී ඉහත ආත්මය පිළිබඳව විස්තර කරමින් සිටි සමන්, පෙරේරා නමැති එපා කරපු මිනිහෙක් පිළිබඳව කී කරුණු සැණින් මගේ සිහියට නැඟුණි.
“පෙරේරාගේ මූණ පුරාම රැවුල තියෙනවා. මූණේ කුරුලෑත් තියෙනවා. පෙරේරාගේ කකුලක් කොරයි. පෙරේරා වැඩ කළේ රේල්ලුවේ. පස්සේ පෙරේරාගේ රස්සාව නැති වෙලා. ඊට පස්සේ තාත්තා පෙරේරාව අපේ කඩේ වැඩට තියා ගත්තා.අපේ කඩේ තිබුණේ ගාල්ලේ රනින් ෂෙඩ් [දුම්රිය ධාවනාගාරය] කිට්ටුව. පෙරේරාගේ කකුල කොරවෙලා තියෙන්නේ කෝච්චියක් පෙරළිලා. ඒ වෙලාවේ වැඩි අමාරුවක් තිබිලා නැහැ. ඒත් පස්සේ අමාරු වෙලා. මං පුංචි කාලේ පෙරේරා මට හැමතිස්සෙම ඒ කෝච්චිය පෙරළුණු විස්තරේ කියනවා බය හිතෙන විදිහට. ඒක සිද්ධ වෙලා තියෙන්නේ මීරිගම විල්වත්තේදී. එතකොට පෙරේරා අනුරාධපුරේලු වැඩ කළේ මිනිස්සු
කෑගහපු හැටි, මිනිස්සුන්ගේ ඇඟවල් ලේවලින් නෑවිලා තිබුණු හැටි, මේ සේරම
පෙරේරා කියනවා. පෙරළුණු කෝච්චි
පෙට්ටියයි, මඩයි අතරේ හිරවුණු කවුරු හරි මනුස්සයෙක් මරණ වේදනාවෙන් ඇඹරෙන හැටිත් පෙරේරා දැකලා තියෙනවා. මෙහෙම කතා කියන
පෙරේරා කඩේ කවුරුවත් නැති
වෙලාවට මාව ළඟට ගත්තා.”
සමන් ඉනික්බිතිව පවසා සිටියේ එම පෙරේරා
නමැත්තා විසින් තමා බරපතළ අපයෝජනයට ලක් වූ අවස්ථාවන් කිහිපයක් පිළිබඳව ය.
“ඒක කාත් එක්කවත් කියන්න එපා කියලා පෙරේරා මාව බය කළා. ඊට පස්සේ
පෙරේරා තාත්තත් එක්ක ප්‍රශ්නයක්
ඇති කරගෙන යන්න ගියා. කොහේ ගියා ද දන්නේ නෑ. නමුත් එයා ගියේ අර මීරිගම කෝච්චි අනතුර ගැන වගේම එයා කරපු දේවල්
ගැන ලොකු බයක් මගේ හිත ඇතුළේ
තියලා.” පෙරේරා නමැත්තා
විසින් අපයෝජනයට ලක් වූ සමන්ගේ සිත තුළ පෙරේරා නියෝජනය කළ දුම්රිය පිළිබඳ උපවිඥානගත බියක්, පිළිකුලක් ජනිත වීම
අතිශය ස්වභාවිකය. කුඩා කල මෙබඳු
අපයෝජනයන්ට ලක් වූ දරුවන් තුළ පසුකාලීනව මෙබඳු පෞරුෂ ඌනතා ඇතිවීම ද නිරතුරු දැකිය හැකි තත්ත්වයකි.
“ඊට පස්සේ මම යන්තම් තරුණ වයසට එනකොට අපේ ගමේ පන්සලේ හිටපු ලොකු හාමුදුරුවෝ අපවත් වුණා. ඒ හාමුදුරුවෝ අපේ අම්මගේ මාමා කෙනෙක්. ඊට පස්සේ ගෝල හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ගේ කාමරේ අස් කරන කොට අපිත් ගියා. ඒකේ තිබිලා පරණ පත්තර මිටි ගණන් හම්බ වුණා. ලංකාවේ සූර්යග්‍රහණයක් වුණු දවස ගැන, බණ්ඩාරනායක මහත්තයාගේ මරණය ගැන තියෙන පත්තර වගේ වැදගත් සිද්ධි තියෙන පත්තර ලොකු හාමුදුරුවෝ එකතු කරලා තියා ගෙන ඉඳලා තියෙනවා. ඒ අතරේ දී තමයි මම දැක්කේ මීරිගම දුම්රිය අනතුර ගැනත් තියෙන පත්තර මිටියක් තියෙනවා. මේවා දැක්ක හැටියේ මට පෙරේරාව මතක් වුණා. මට බයක් හිතුණා. ඒ එක්කම ඒවායේ ඒ දුම්රිය අනතුරින් තුවාල ලබපු පෙරේරාගේ නමත් තියෙනවා ද කියලා දැනගන්න මට ඕනේ වුණා. ඒ නම් ලැයිස්තුවේ පෙරේරලා කීප දෙනකුගේ නම් තිබුණා. ඒ අතරේ පෙරේරාගේ නම එතන තිබුණා ද කියන්න මං දන්නේ නෑ. ඔය අතරේ තමයි මං දැක්කේ ඒ අනතුරින් මැරුණු රත්නපුරේ වීරසිංහ කියලා රේල්ලුවේ වැඩ කරන කෙනෙක් ගැන පත්තරේ තියෙනවා. එතකොට තමයි මං හිතුවේ අනේ මේ මනුස්සයා ජීවත් වෙලා මේ අනතුරින් අර පෙරේරා මළා නම් කියලා. ඒ එක්කම මට හිතුණා මම කෝච්චිවලට මේ තරම් බය ගිය ආත්මේ වීරසිංහ හින්ද ද දන්නේ නැහැ කියලා. ඒ වගේම පෙරේරා දැක්කය කියපු මරණ වේදනාවෙන් අඹරුණු මනුස්සයා මං කියලත් මට හිතුණා. මොකද ඒ විස්තරේ කිව්වට පස්සේ මගේ මුළු ඇඟම කකියන්න පටන් ගත්තා. එදා රෑ වෙනකොට උණත් ගත්තා. එහෙම නම් පෙරේරා මට මේ ආත්මේදී වගේම ගිය ආත්මේදීත් හතුරුකම් කරපු මිනිහෙක් බව මට තේරුම් ගියා. ඊට පස්සේ මට ඕනේ වුණා ඔය රත්නපුරේ වීරසිංහ මනුස්සයා ගැන හොයන්න. එයාගේ මූණ කට, ගති ගුණ එහෙමත් මගේ වගේ ද බලන්න. ඒත් ඒකට ඉඩකඩක් ලැබුණේ නෑ.”
මෝහන නිද්‍රාව මඟින් ම සමන් තම
පුනරුත්පත්ති කතාවේ යථාර්ථය එලෙස එළි දක්වන ලද්දේ මා තුළ පැවැති ගැටලු අර්බුදකාරී තත්ත්වයන් සියල්ල
සැණින් සමනය කරවමිනි. කෙසේ
හෝ දැන් සමන් ලෙසින් හිඳිනුයේ මනා පෞරුෂයකින් යුතු ඉතා නිරෝගී කඩවසම් පුරුෂයකු බවත් එවැන්නවුන් කෙසේවත් අපයෝජනයට
ලක්විය නොහැකි බවත් පෙරේරා
නමැත්තකු වෙතින් අතීතයේ අපයෝජනයට ලක් වූ දරුවා පිළිබඳ සාධකයක් අද වන විට ඉතිරිව නොමැති බවත් පවසමින් සිල්වා මහතා සමන්
හට මනෝ විශෝධනයක් ලබා
දුන්නේ ඔහුගේ පෞරුෂය තවත් වර්ධනය කරවීම පිණිස ය.
“සමන් කලින් හෙළි කරපු පුනරුත්පත්ති කතාව ඕනෑ ම කෙනෙක්ව නොමග යවන්න පුළුවන් එකක්. කොටින් ම සමන් කියපු විස්තර අහලා මාත් මුල දී ගල් ගැහුණා. ඒත් පස්සේ සමන්ම කරපු දෙවෙනි විස්තරෙන් තමයි මගේ හිතේ තිබුණු අවුල් නැතිවෙලා මගේ ගවේෂණය සම්පූර්ණයෙන් සාර්ථක වුණේ. ඒ හින්දා මේ ගැන පත්තරෙන් මොකක් හරි අනාවරණයක් කරන්න මට සමන්ගේ උදව් ඕනේ.” නෙවිල් ද සිල්වා මහතාගේ මෝහන චිකිත්සාව හමාර වී සැනසුම් සිතින් යුතුව චිකිත්සාගාරයෙන් පිටතට පැමිණි සමන්ට මම කාරුණිකව කීවෙමි.
“මං ගැන විස්තර පත්තරවලට දාන්න? මට තිබුණු අසනීපේ
හැටියට එහෙම කළොත් මං කොහොම ද ලෝකෙට
මුහුණ දෙන්නේ?” සමන් මගේ මුහුණ දෙස සෘජුව බලමින් ඇසී ය. “මොන පිස්සු ද? සමන්ට අබමල්
රේණුවකටවත් නරකක් වෙන දෙයක් ගැන මම පත්තරේට ලියන්නේ නැහැ. මම ලියන්නේ ඔය පුනරුත්පත්ති කාරණේ විතරයි. අනික
අර පෙරේරා කියන මනුස්සයාගෙන්
සිද්ධ වුණු අතවර ගැනවත් මං ලියන්නේ නෑ. ඒ වගේ ම සමන් කියනවා නම් මම ඔයා ගැන ලියන දේවල් පත්තරේට දාන්න කලින් ඔයාට
පෙන්නන්නම්. එතකොට මුකුත් ප්‍රශ්නයක්
නෑනේ” සමන්ගේ මුහුණෙහි එතරම් සතුටක් නොමැති බව වටහා ගත් මම යළි කීවෙමි.
“බලමුකෝ” හිස බිමට නැඹුරු කරගත් හිසින් යුතුව චිකිත්සාගාරයෙන්
පිටව යන අතරේ සමන් කීය.
නමුදු ඉන්පසු එදා මෙදා තුර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් මට දැනගත නොහැකි විය. ඒ කෙසේ හෝ ම`විසින් කරනු ලැබූ
පුනරුප්පත්ති ගවේෂණ සැළකිය යුතු
ගණනක් අතරින් මගේ සර්වාංගයම කිළිපොලා ගිය පුනරුප්පති ගවේෂණය ලෙස මෙය විශේෂ තැනක් හිමි කර ගනු ඇත.
තිලක් සේනාසිංහ