විශ්‍රාමික වැටුප් විෂමතා ඇතිවීම වැළැක්වීමට රජයේ ඇති වැඩපිළිවෙල කුමක්ද – සජිත්

March 9, 2021

දිගින් දිගටම විශ්‍රාම වැටුප් විෂමතා ඇතිවීම මත, විශ්‍රාමිකයින් අපහසුතාවයට පත් කිරීම නවතාලීමට රජය සතුව ස්ථිරසාර වැඩපිළිවෙලක් තිබේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මෙසේ ද කීය.

තම ජීවිතයේ හොඳම කාලය, රජයේ සේවය සහ රට වෙනුවෙන් කැපකොට, රාජ්‍ය සේවයෙන් ඉසිඹුලත් විශ්‍රාමිකයින් අද වන විට බරපතල වැටුප් විෂමතාවයකට මුහුණ පා සිටිනවා. හය ලක්ෂ පනස්දහසකට අධික වන, මෙම ජ්‍යොෂ්ඨ පුරවැසි පිරිසට හිමි විය යුතු නිසි විශ්‍රාම වැටුප නොලැබෙන තත්ත්වයක් මේ වන විට උදා වී තිබෙනවා.

පසුගිය රජය බලයට පත්වීමත් සමගම, ඉතිහාසයේ පෙර නොවු විරූ පරිදි රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම් සිදු කළ අතර, එය සමස්තයක් ලෙස ගත් කළ 107% ක වැටුප් වැඩි වීමකි. ඒ සමගම 2016/01/01 දිනට පෙර විශ්‍රාම ලබා සිටි රජයේ සියලුම විශ්‍රාමිකයන්ගේ, වැටුප් විෂමතාවයන් ඉවත් කරමින් 6/2006 වැටුප් තලයන් අනුව විශ්‍රාම වැටුප ගලපා තිබෙනවා. මෙය සමස්තයක් ලෙස 48% ක පමණ විශ්‍රාම වැටුප් වැඩිවීමකි.

මීට අමතරව, 2016/01/01 දිනෙන් පසුව විශ්‍රාම ලද විශ්‍රාමිකයින් වෙනුවෙන්, 2020/01/01 දිනට රජයේ නිළධාරීන්ට ලබා දෙන වැටුප් හා සමපාත කරමින් නැවත විශ්‍රාම වැටුප් සංශෝධනයක් සිදු කරන බවට ඒ වෙනුවෙන් නිකුත් කරන ලද 3/2016 චක්‍රලේඛයේ 5.2 වගන්තියේ දක්වා තිබෙනවා. 3/2016 චක්‍රලේඛයෙන් පොරොන්දු වූ පරිදිම, 2020 ට අදාලව විශ්‍රාම වැටුප් ගැලපීම සඳහා 35/2019 චක්‍රලේඛය පසුගිය රජය විසින් නිකුත් කල ද, මෙම රජය බලයට පත් වූ වහාම 35/2019(1) චක්‍රලේඛය මගින් එය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

මෙම ක්‍රියාව නිසා පසුගිය රජය මගින් විශ්‍රාමිකයාගේ ගරුත්වය රකිමින් ලබා දීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් වැඩිවීම අහිමි කර ඇති අතර, එමගින් දැඩි වැටුප් විෂමතාවයක් විශ්‍රාමිකයින් අතර ඇති කර තිබෙනවා.

මෙය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

  1. අද දින විශ්‍රාම වැටුප් ලබන රජයේ නිලධාරියෙකු සහ, ඒ හා සමාන තනතුරක් දරමින් 2016/01/01 සිට 2020/01/01 දක්වා කාලය අතරතුර විශ්‍රාම ලද නිළධාරියෙකුගේ විශ්‍රාම වැටුප් අතර විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නේ ද? එසේනම් 2016/01/01 දිනට පසු විශ්‍රාම ලද පිරිසගේ විශ්‍රාම වැටුප 2020/01/01 රාජ්‍ය සේවයේ වැටුප් අනුව ගැලපීමට රජය කටයුතු කරනු ලබන්නේ ද? එසේනම් ඒ සඳහා මේ වන විට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? නොඑසේනම් ඊට හේතු කවරේද?
  • පසුගිය රජය විසින් විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට නිකුත් කරන ලද 35/2019 චක්‍රලේඛය අත්හිටුවීමට මෙම රජය කටයුතු කර ඇති බව පිළිගන්නේ ද? එසේනම් ඒ සඳහා බලපා ඇති හේතු කවරේද?
  • දැනට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව කොපමණද? ඒ අතුරින් වැටුප් විෂමතාවය නිසා අසාධාරණයට ලක්ව ඇති විශ්‍රාමිකයින් සංඛ්‍යාව කොපමණද? සමස්ත විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව  රජය විසින් වැය කරනු ලබන මුළු මුදල කොපමණද? විශ්‍රාම වැටුප්  විෂමතාවය ඉවත් කිරීම සඳහා වාර්ෂිකව  වැයවන මුදල කොපමණද? එම වැයවන මුදල ලබා දීමට රජයට නොහැකි වන්නේ ද? එසේනම් ඒ මන්ද?
  • දිගින් දිගටම විශ්‍රාම වැටුප් විෂමතා ඇතිවීම මත, විශ්‍රාමිකයින් අපහසුතාවයට පත් කිරීම නවතාලීමට රජය සතුව ස්ථිරසාර වැඩපිළිවෙලක් තිබේද?  එසේ නම් ඒ කුමක්ද?
  • රජයේ විශ්‍රාම වැටුපක් මගින් ආවරණය වන සංඛ්‍යාව රටේ සමස්ත වැඩිහිටි ජනගහනයෙන් සීමිත පිරිසක් පමණක් වන බව රජය පිළිගන්නේ ද? එසේ මගහැරෙන මිලියන 3 කට ආසන්න ජ්‍යොෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට රජයට වැඩපිළිවෙලක් තිබේද? එසේනම් ඒ පිළිබඳ තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

t

o

p