ක්‍රිකට් පරිපාලනයට ඇගිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ දෙන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ.

February 9, 2021

මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් කෙටි, මධ්‍යම සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.

මෙරට  පාපන්දු ක්‍රීඩාවේ නිරතවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 02 ක් දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීවේය.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 150 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ඒම අපේක්ෂාව බවත් දැනට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ 206 වැනි ස්ථානයේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට  පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කීවේය.

Football Friday ලෙසින් නව ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය ලබා දී තිබූ අනුග්‍රහය ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍යවරයා කීවේය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී ඇති බවත් , දේශපාලනීකරණීය සහ කල්ලිවාදය ඊට හේතු වී ඇති බවත් පැවසු  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට  වත්මන් රජය ගන්නා පියවර කවරේද යන්න අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේය .

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ නොදෙන බවයි. පවතින ගැටළුවලට විසඳුම් ලෙස  නව ක්‍රීඩා පනතක් ඉදිරීයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවත්, ඊට අමාත්‍යාංශය සහ අදාළ වෙනත් පාර්ශව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීවේය.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වැටෙන්න පටන් අරන් අවුරුදු 05 ක් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ කල්ලිවාදය පවතින බවට චෝදනා එල්ල වෙනවා. මෙය ක්‍රිකට් වලට විතරක් නොවෙයි අනික් ක්‍රීඩාවලටත් එල්ල වෙන චෝදනාවක්, කොහොම වුණත් ක්‍රිකට් පරිපාලනයට අත තියන්න දේශපාලනයට අයිතියක් නැහැ” යැයිද අමාත්‍යවරයා කීවේය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීමට අවුරුදු 05 ක් 06 ක් ගතවන බවත්, අද සිට ඒ සඳහා කටයුතු කළොත් 2023 ලෝක කුසලානයට ක්‍රීඩකයන් හදාගත හැකි බවත් ,එසේම වයස අවුරුදු 17 න් පහළ මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව තාක්ෂණිකව දියුණු කිරීමට පියවර ගත යුතුව ඇති බවත් රාජපක්ෂ මහතා කීවේය.

ක්‍රිකට් ක්‍රීඩාව තාක්ෂණික වශයෙන් දියුණු කිරීම වෙනුවෙන් අරවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත්, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් වැනි මහත්වරුන්ද ඊට ඇතුළත් බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැන්වීය.

ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකරන ලෙසද හෙතෙම පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

t

o

p