මුතුරාජවෙල පරිසර සංහාරකයෝ කාදිනල් තුමන්ට මඩ ගසති. ඉන්දියානුවනුත් හවුල් බවට සැක

February 9, 2021

සංවර්ධනය කිරීම සඳහා යැයි කියමින් මැල්වත්ත ලෑන්ඩ් ඩිවලපර්ස් ප්‍රයිව්ට්
ලිමිටඩ් නමින් පෙනී සිටින සමාගමක් මුතුරාජවෙල තෙත් අභය භූමිය අවට අක්කර
හත්සීයයක් අත්පත් කර ගැනීම කෙරෙහි කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත්
හිමිපාණන් මෙතරම් විරුද්ධවන්නේ එම සීමාව තුළ මහා පරිමානයෙන් ඌරු කොටු
පවත්වාගෙන යන්නවුන්ගේ ගේ ඉල්ලීම මත බව එක්තරා කණ්ඩායමක් විසින් මේ දිනවල
සංවිධානාත්මක ලෙසින් ප්‍රචාරය කරමින් සිටිති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එම සීමාව තුළ ඌරු කොටු විශාල සංඛ්‍යාවක් ඇති බවත් ඒවායේ අඩුම තරමින් ඌරන් හත් දහසක්වත් සිටින බවත්ය. තනි පුද්ගලයකු සතු බව කියන එම සමාගම මුතුරාජවෙල ඉඩම් අත්පති කරගෙන ඇත්තේ අදාල වග කිව යුතු අංශ නොමඟ යවා බවත් දැනට එහි සිදු කෙරෙන අනවසර අත්පත් කරගැනීම් හා ගොඩකිරීම් වහා නතර කොට ඒවාට සම්බන්ධව
වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත්  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කළහ. ඒ පසුගිය දිනයෙක කොළඹ අග රදගුරු නිලනිවසේ දී විශේෂ සාකච්ඡාවක දීය. ඒ සඳහා මහින්ද අමරවීර, විමලවීර දිසානායක යන ඇමැතිවරුන් සහ පරිසර අමාත්‍යංශයේ
ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


එක්තරා ව්‍යාපාරිකයකු විසින් මේ තෙත් අභයභූමියට අයත් ඉඩම් අක්කර 700 ක් පමණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවත්, එය පෞද්ගලික දේපොළක් බැවින් ඇතුල්වීම තහනම් කෙරෙන පුවරු සෑම ස්ථානයකම ප්‍රදර්ශනය කර ඇති බවත් මේ නාම පුවරු ගලවා ඉවත් කිරීමට අනිවාර්යයෙන් පියවර ගන්නා බවත් එහිදී අග රදගුරු තුමන් විසින් එහි දී අවධාරණය කරන ලදි. මේ අතර “මරිය හමුදාව” නමින් හඳුන්වන කිතුණු කාන්තා එකතුවක සාමාජිකාවන් බව පවසන පිරිසක් විසින් පසුගිය දිනවල මුතුරාජවෙල තෙත් බිමේ සවි කොට තිබූ “පුද්ගලික ඉඩමකි ඇතුල්වීම තහනම් මැල්වත්ත ප්‍රොපටි ඩිවලපර්ස් ප්‍රයිව්ට් ලිමිටඩ්” යනුවෙන් සඳහන් පුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ගලවා ඉවත් කොට තිබිණ. එහෙත්, ඉහත සඳහන් තෙත් බිම් සීමාවේ මානව ජනාවාස ආශ්‍රිතව ඌරන්, කුකුළන්, ගවයන්, මීගවයන් සහ තාරාවුන් වැනි ගෘහස්ථ සතුන් සීමිතව ඇති නමුත් මෙම තෙත් බිම තුළ අක්කරයකට ඌරන් දහය ගණනේ ඌරන් හත් දහසක් සිටින කතාව බාහිර පුද්ගලයන් නොමඟ යවා බොදුණු කිතුණු ගැටුමක් ඇති කිරීමේ
කූටෝපායක් බව පදේශයේ බොදු කිතුණු සැමගේ පොදු අදහසය.


මරිය හමුදාව [Legion of Mary] කියන්නේ කන්‍ය මරිය තුමියගේ ආධ්‍යාත්මික ශක්තිය මත පදනම් ව අසරණ ජන සමාජයට පිහිට වීම අරමුණු කර ගත් ලෝක කතෝලික ප්‍රජා එකමුතුවක්. අද වෙන කොට ලෝකයේ මරිය හමුදා සාමාජිකත්වය අපේ රටේ මුළු ජනගහනයෙන් බාගයකටත් වැඩියි. ඒ හින්දා ඒ වගේ මානුෂීය එකමුතුවකින් කිසිම නීති හෝ සදාචාර විරෝධී දෙයක් වෙන්නේ නැහැ. නමුත් මේක ඌරු කොටු හිමියන් ගේ උවමනාවක් මත සිද්ධ වෙන දෙයක් කියලා සත්ව ඝාතනයට එරෙහි  බෞද්ධ  බලයක් ගොඩ නඟා ගත්තොත් මේ ප්‍රශ්නය වෙනම පැත්තකට හරවා ගන්න පරිසර සංහාරකයන්ට පුළුවන්. නමුත්, මේ පරිසර සංහාරයට සම්බන්ධ පාතාලයේ මැරයන් ප්‍රදේශයේ ජනතාව බියවද්දන හැටි එදා  අගරදගුරු නිල නිවසේ තිබුණු මාධ්‍ය හමුවෙදී පාහියන්ගල ආනන්ද හාමුදුරුවොත් පෙන්නලා දුන්නා. ඒ හින්දා ඔය ඌරු
කොටු කතා වලින් මේ සැබෑ ජනතා හඬ යටපත් කරන එක ඔවුන් ගේ උප්පරවැට්ටියක්
“මුතුරාජවෙල පරිසර ලෝලීහු  කියති.


ගොල්ෆ් ක්‍රීඩාංගනයක් සඳහා යොදා ගන්නා බව කියන මෙම අක්කර හත් සියයක භූමි භාගය
දෙස් විදෙස් කාමභෝගී ධන කුවේරයන් සඳහා සියළු  සැප පහසුනම් සලසන බාහිර කිසිවකුටත් ඇතුළු විය නොහැකි “සුපිරි නගර” නේවාසික කලාපයක් ලෙස යොදා ගැනෙන බවත් එහි සුරා සූදු, තුරඟ තරඟ සේම ගණිකා සේවනය සඳහා ද සියළු සැප පහසු කම් සැලසෙන බවත් මුතුරාජවෙල පරිසර සංවිධාන නියෝජිත වරු කියති. එමෙන්ම එම සමාගමේ හිමිකරු කියන පුද්ගලයා විසින් පසුගිය කාලයේ ලොරි රථ එකලස් කරන කම්මලක් ඉදි කිරීමට යැයි කියමින් මුතුරාජවෙල තෙත් බිමෙන් අක්කර පනහක් වෙන් කර ගැනීමට සැරසුණු අතර ඊට ප්‍රදේශ වාසීන් ගේ දැඩි විරෝධයක් එල්ල විය. මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධ පරිසර හානි සම්බන්ධයෙන් මීට පෙර කිහිප වරක් අධිකරණය හමුවේ වරදකරුවකු ද වී සිටින ඔහු මෙම තෙත් බිම කොල්ල කෑම සම්බන්ධ උන්මාදයකින්ප පසුවන්නකු බව ඔහුගේ ඇතැම් ක්‍රි‍යාවන්ගෙන් පෙනී යන බව ප්‍රදේශ වාසීහු කියති.


මේ අතර පරිසර විෂය පිළිබඳ කිසිදු හැදෑරීමක් නොකළ මාධ්‍යවේදීන් හමුවට පරිසර සංවිධාන නියෝජනය කරන බව පවසන් සට කපට පුද්ගලයන් ඉදිරිපත් කොට එම පරිසර සංහාර සාධාරණීකරණය කෙරෙන ප්‍රකාශ ලබා දීමටත් එම මාධ්‍යවේදීන්ට විවිධ අයුතු ලාබ සත්කාර ලබා දී මෙම වැරදි මති මතාන්දර මාධ්‍ය මඟින් සමාජ ගත කිරීමටත් පරිසර සංහාරකයන් කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබේ. ප්‍රදේශයේ ගංවතුර පාලනයට සෘජුව ඉවහල් වන මුතුරාජවෙල හා
ආශ්‍රිත තෙත් බිමක් හා ඌරුවල් ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත ගං වතුර පිටාර තැන්නක් වන ජා ඇල ගම්පහ ප්‍රධාන මාර්ගය මායිමේ පිහිටි “ඔතේ කැළේ” නම් වනපෙත පුරවා නිවාස ව්‍යාපෘතියක් තැනීමේ සැලසුමක් පසුගිය කාලයේ ක්‍රියාත්මක විය.

එහි දී ද එම බිම් කඩ ‘පුරවන්කර් සමාගම’ සතු දේපලක් බැවින්ඊට ඇතුල්වීම තහනම් බව පැවසෙන පුවරු සවි කොට තිබිණ. පුරවන්කර් යනු ඉන්දියාවේ බැංගලෝරයේ ඇති යෝධ ඉදිකිරීම් සමාගමකි. එම සමාගම මඟින් ඉන්දියාවේ සුපිරි නිවාස සංකීර්ණ රැසක්ම තනා තිබේ. නමුදු එම පරිසර විනාශයට පුරවන්කර් සමාගම සම්බන්ධදැයි මෙරට පරිසරවේදීන් කළ විමසුන් වල දී එම සමාගමින් කිසිදු පිළිතුරක් ලද නොහැකි විය. මේ වන විට එම ගංවතුර පිටාර තැන්න ගොඩ කිරිමේ බිහිසුණු පරිසර සංහාරය සිදු නොවන පසුබිමක් තුළ  දේශීය සේම විදේශීය ජාවාරම් කරුවන්.විශේශයෙන් ඉන්දියානුවන් එක්ව මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමන් ඇතුළු මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය රැක ගැනීමට පෙරමුණ ගන්නවුන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් හෝ තම අරමුණ වෙත ළං වීමට වෙර දරන බවට ද ඇතැම්හු සැක පළ කරති. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනුයේ මුතුරාජවෙල තෙත් බිමට කරනු ලබන මෙවැනි බලපෑම් මඟින් භූ ගත ජලය දූෂණය වීමට ඇති ඉඩ කඩ අනුව මුතුරාජවෙලට කරනු ලබන මෙම බලපෑම කාල බෝම්බයක් ඇටවීමට සමාන බවයි.


දමයන්ති ගමගේ

t

o

p