පාස්කු ප්‍රහාරය හා දේශපාලන පළිගැනිම් පිළිබද සෙවිමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි අද (08) ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන නොයෙක් මත සමාජයේ පළ වන බැවින් එම වාර්තා වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා ඇත. එහිදි සභානායක, ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිට බාරදුන් පිටපත පමණක් ඇති බැවින් මේ සතියේදි එය ඉදිරිපත් කළ නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ඉල්ලීමක් කරන බව විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එහිදි කියා ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ ගැන සාකච්ඡා කොට ඇති අතර පාර්ලිමේන්තුව ඉදිරි දින 04 තුළදී ම රැස්වීමට ද එහිදි තීරණය වී තිබේ.
ඒ අනුව හෙට දිනයේ දී කම්කරු අමාත්‍යවරයා විසින් පසුගිය ජනවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වන නියෝග විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.
හෙට (09) පෙරවරු 10 ට පාර්ලිමේන්තුව ඇරඹීමෙන් පසු පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.ඉන් පසුව පෙරවරු 11 ට විවාදය ආරම්භ වී එය පස්වරු 04.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 04.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා කීවේය.
පෙබරවාරි 10 වැනි බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරු සපයනු ඇත. අනතුරුව පෙරවරු 10.30 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
එදින මැණික් සහ ස්වණාභරණ පනත යටතේ පනවා ඇති රෙගුලාසි විවාදයට ගනු ලබන අතර, එම විවාදය පෙරවරු 11 සිට පස්වරු 04.30 දක්වා පැවැත්වේ. අනතුරුව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනේ.
පෙබරවාරි 11 වැනි බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන නියෝග 03 ක් විවාදයට ගැනෙන බව මහලේකම්වරයා සඳහන් කළේය. එදින ද පෙරවරු 10 සිට 11 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කෙරෙන අතර, පස්වරු 04.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනේ.
අනතුරුව පෙබරවාරි 12 වන සිකුරාදා දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුරංගනී එල්ලාවල මහත්මිය , කේ.පී සිල්වා මහතා සහ කපිල අබේරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. එදින පෙරවරු 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ.