මේ දවස් වල ලෝකය පුරාම පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය
හින්දා අපේ සමාජයේ ඇති වෙලා තියන ව්‍යාකූල බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.මේ පැටලිලි සහගත බව කොයි තරම් ද කිව්වොත් අද කොරෝනා වලට පිළිගත් වෙදකමින් ඒ කියන්නේ හරි වෙදුන්ගෙන් ප්‍රතිකාර නෑ කියන හින්දා හොර වෙදුන් හොයා ගෙන යන පිරිසත්
දවසින් දවසම වැඩි වෙනවා. ඒ හින්දම ඒ පොදු ජන අවශ්‍යතාව සපුරාලන්න ජාවාරම්කාර හොර වෙදුන් පැළැන්තියකුත් සමාජයේ ඉස්මතු වෙලා තියනවා.
හොර වෙදුන් කියලා මම කියන කොට සමහරුන් කෝපයට පත්වේවි; මා මේ කතාකරන්නෙ
ආයුර්වේදය ගැන හරි හෙළ වෙදකම ගැන හරි කියල. නමුත් මම කීයටවත් එහෙම හිතන්නේ
නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමය නවීන විද්‍යාව මත පදනම් වුණු එකක් වගේම ආයුර්වේදය දර්ශනයක් පදනම් කරගත්තු වෛද්‍ය ක්‍රමයක්. හෙළ වෙදකමට පදනම් වෙලා තියෙන්නේ අවුරුදු දහස් ගාණක් තිස්සේ පැවැත එන දේශීය ඥාන සම්භාරයක්. අපි කවුරුත් දන්න බුද්ධදාස රජ්ජුරුවෝ මේ වෛද්‍ය ක්‍රම දෙකම එකතු කරලා “සාරාර්ථ සංග්‍රහ”කියලා වටිනා වෙද පොතක් ලියලා තියනවා. නමුත්, මම මෙතනදී හොර වෙදුන් කියලා අදහස් කරන්නෙ ආයුර්වේදය මනා ලෙස ඉගෙන ගෙන සහතික ලබා නිවැරදිව ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරුන්ටවත්, පරම්පරාගතව පැවත එන හෙළ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගෙන ප්‍රතිකාර කරන අපේ හෙළ වෙදකම සිදුකරන අපේ දේශීය වෙද මහතුන්ට වත් නොවේ.
මම මේ කතා කරන්නේ ආයුර්වේදයේ හරි හෙළ වෙදකමේ නැති අමුතුම බෙහෙත්, ප්‍රතිකාර ක්‍රම
තමන් ළඟ තියන බවක් කියමින් බඩ වියත රැකගැනීමට හෝ සුඛ විහරනයට මුදල් සෙවීම
පරමාර්ථය කර ගත්තු හොර වෙදුන් කණ්ඩායම ගැනයි. මේ අය සමහරු දෙවිවරු යක්කු
දුන්නය කියන බේත් වට්ටෝරු තමන් ළඟ තියනවය කියලා, මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් ගන්නවා. ඒ වගේම ඒ මාධ්‍ය ආයතනත් මේ වගේ ගොඩ වෙද්දුන්ට රුපියල් මිලියන ගණන් වලින් තක්සේරු කරන්න පුළුවන් ප්‍රචාරයක් ලබා දෙන්නේ නිකම්මද? කියන සැකය අප තුළ ඇති කර ගත්තත් “පව් නෑ” මං හිතන්නේ දැන් අපි මේ හොර වෙදුන් ගෙයි හරි වෙදුන්ගෙයි වෙනස වටහා ගනිමු. කිසිම බෙහෙතක හෝ ප්‍රතිකාර ක්‍රමයක සාර්ථකත්වය 100% බව කිසිම වෛද්‍ය කර්මයකින් සනාථ වෙන්නේ නැහැ. නමුත් හොර වෙදුන් නම් කියන්නේ ඒම මේ බෙහෙත අත්දුටු යි. ප්‍රතිපල 100%ක් සාර්ථකයි කියලා. රෝගයක් නිට්ටාවට සුව කරනවාය කියන සහතිකය කිසිම හරි වෙදෙක් රෝගියෙකුට දෙන්නේ නෑ. මම දන්න විදියට ඒ සුදුසු කම තියෙන්නේ එකක එක “වෙද කෙනෙකුට” විතරයි. අපි පුංචි කාලෙ කියවපු ලෝ වැඩ සඟරාවේ තියන විදිහට
“සත් හට වන බව දුකට වෙදාණන්” කිව්වම ඒ කවුද කියලා
හැමෝම දන්නවනේ. නමුත්, මේ හොර වෙදුන් නම් ප්‍රසිද්ධියෙම කියනවා මට අහවල්
ලෙඩේ නිට්ටාවටම සනීප කරන්න පුළුවන් කියලා. හරි වෙදෙක් ර්‍රෝගියෙකුට දෙන
බෙහෙත් වට්ටෝරුව ගැන ඒ රෝගියා දැනුවත් කරන්න බැඳිලා ඉන්නවා. අනික ඒක ගැන
දැන ගැනීම ඒ රෝගියාගෙත් අයිතියක්. නමුත් හොර වෙද්දුන්ගේ බෙහෙත් වට්ටෝරුව
බොහෝවිට රහසිගතයි. ඒ අතරේ ඒකට දෙවියෝමොනවා දානවද කියලා මං දන්නේ නෑ කියන
හොර වෙද්දුත් ඉන්නවා.
ඕනෑම බෙහෙතක අතුරු ඵල කියලා දෙයක් තියනවා. ඒක බටහිර වගේම පෙරදිග වෛද්‍ය
ක්‍රම වලටත් පොදු දෙයක්. ඒවයේ අඩු වැඩි බව විතරයි වෙනස. නමුත් මේ හොර
වෙදුන් කියන විදිහට ඒ අයගේ බෙහෙත් වල කිසිම අතුරු ඵලයක් නෑ; ඒකත් මරු නේ
බලාගෙන ගියාම!
බටහිර හෝ පෙරදිග පෞද්ගලික වෛද්‍ය සේවාවක් නම් ඒකට මුදලක් ගෙවන්න රෝගියාට
සිද්ද වෙනවා. මොකද වෛද්‍ය වෘත්තිය කියන්නෙත් කෙනෙකුගේ ජීවන වෘත්තියක්
නේ. අනික, ඒ ඖෂධ,ප්‍රතිකාර සේවා, යටිතල පහසුකම්, ඒ ආයතන පවත්වා ගෙන යන්නේ
කොහොමද මුදල් නැත්නම්. නමුත් මේ හොර වෙදුන් මෙතනදිත් රෝගීන්ට “කොලේ
වහනවා”. මට සල්ලි එපා. බේත් වලට, ඒ මේ ස්ථානයේ දියුණුවට ආධාර කරන්න වගේ
කතා තමයි ඒ අය කියන්නේ. ඒක හරියට රුපියල් ලක්ෂ ගාණක් දීලා හෙන්ඩුවක්
ගත්තම අලියෙක් නිකම් හම්බු වෙනවා වගේ කතාවක්. නමුත්, සමහරු”අනේ අහවල් වෙද මහත්තයා නම් බේත් වලට යන සල්ලි විතරමයි ගන්නේ කියනවා” මාත් ඕනේ තරම් අහලා
තියනවා. ඒක හුඟක් හොර වෙද්දු තමන් වෙතට ජනතාව ආකර්ශණ කරගන්න යොදන උපාය
මාර්ගයක්.
ප්‍රාථමික ප්‍රතිකාර වලින් සමනය වන සුළු රෝග ලක්ෂණ මතු කරන රෝග තත්වයක දී
බෙහෙත් නියම කරන බටහිර හෝ පෙරදිග හරි වෙදුන්” මේකෙන් ඔය තත්වය ඇරිලා යයි”
කියලා කියනවා. ඒ එවැනි රෝග බොහොමයක් බෙහෙත් නැතිව හෝ ප්‍රාථමික ප්‍රතිකාර
වලින් සමනය වන දන්නා හින්දයි. ඒ එක්කම සමහර හරි වෙදුන් “මේකෙන් ගුණයක්
නැත්නම් ආයිත් එන්න” කියලත් කියනවා. එහෙම රෝගියා දෙවෙනි වතාවටත් ආවොත්
හරි වෙදා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ ප්‍රතිකාර ක්‍රමය හඳුන්වන්නේ ආරක්ෂිත ජාලනය [Safety netting] කියලයි. නමුත්, හරි වෙදුන් අනුගමනය කරන මේ ක්‍රමය හොර වෙදුන් අනුගමනය කරන්නේ නැහැ. ඒ අය බෙහෙත් දෙන්නේ “වන් ෂොට්” ක්‍රමයට හැබැයි ඒ වන් ෂොට්බෙහෙත් වලින් රෝගියා “නොකවුට් ” වෙන්න තියන ඉඩ කඩත් වැඩි බවත් කිව යුතුමයි.
බටහිර ඖෂධයක් ජනතාව අතරට පත් වන්නේ දීර්ඝ ක්‍රියාවලියකින් පසුවයි. මුලින්ම
සතුන් යොදා පූර්ව සායනික පර්යේෂණ සිදුකරනවා. එහි සාර්ථක බව සනාථ වුණොත්
විතරක් දෙවනුව මිනිසුන් යොදාගෙන අදියර තුනක දී සායනික පර්යේෂණ
සිදුකරනවා. ඒ එම ඖෂධයේ අතුරු පල සෙවීමට හා මිනිසුන් ට එය කෙසේ බලපායිද
කියා සොයා බැලීමටයි. මුලින්ම සුලු පිරිසක් ගන්නවා , ඊළඟට වැඩි පිරිසක් හා
අවසාන අදියරේ දී විශාල පිරිසක් කාණ්ඩ දෙකකට බෙදා කොටසකට ඖෂධය දී අනෙක්
කොටසට වෙනෙ`එකක් දී සසඳා බලනවා. පස්සේ රටවල් රාශියක, ස්ථාන බොහොමයකත් මෙය සිදුකරනවා. ඊට පස්සේ ලොව පිළිගත් විද්වත් සඟරාවක සියලු ක්‍රමවේදය පළකර
එයට එන විවේචන අනුව එය පිළි ගැනීම හෝ නොගැනීම ඒ ඒ රටවල ඖෂධ කමිටු මඟින්
තීරණය කරනවා බටහිර වෙදුන් රෝගීන්ට ලබාදෙන්නේ එම ඖෂධ පමණයි. පැරසිටමෝල් පෙත්ත කඩේට ආවෙත් මේ ක්‍රමයටයි.
ආයුර්වේද සහ දේශීය ඖෂධ නිපදවීම සම්බන්ධයෙන් මේ වගේ විද්‍යාත්මක
ක්‍රමවේදයක් භාවිතා වන්නේ නැහැ. නමුත්, අවුරුදු සිය දහස් ගණනක් තිස්සේ
මිනිසුන්ගේ වගේම සතුන්ගේත් විවිධ රෝගාබාධ සඳහා යොදාගෙන සාර්ථක
ප්‍රතිඵල ලැබූ ශාඛ, සත්ව සහ පාෂාණ සංයෝග තමයි අදත් ආයුර්වේද සහ දේශීය ඖෂධ
වට්ටෝරු විදිහට භාවිතා වෙන්නේ මිනිසා ශිෂ්ඨාචාර ගත වීමට කලින් තමන්ගේ
රෝගාබාධ සඳහා ඖෂධ වශයෙන් යොදා ගත් ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් මිනිස්
බුද්ධි පරිනාමයත් සමඟ දියුණු ඖෂධ වට්ටෝරු බිහි වන්නට ඇති බවත් මිනිස්
කායික හා මානසික ව්‍යුහය ගැන ගැඹුරු අධ්‍යයනයන් කළ අතීත මහා ප්‍රාඥයන් ඒ සමහරක් හඳුන්වා දෙන්නට ඇති බවත් මානව විද්‍යාඥයන් මත පළ කරනවා. ඒ වගේම එම එදා මෙදා තුර අත් හදා බැලීමෙන් හා වැරදි හඳුනා ගැනීමේ ක්‍රමයෙන් {Trial and error} යාවත්කාලීන වූ ඒ
පාරම්පරික ඖෂධ වට්ටෝරු ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර තිබෙනවා.
නමුත්, ඉහත සඳහන් කිසිම විද්‍යා ශාස්ත්‍රීය පදනමක් හෝ පාරම්පරික උරුමයක්
නැති කපටින් වංචනිකයන් හොර වෙදුන් වීමට යොදා ගන්නා පහසුම ක්‍රමය තමයි “මට
මේක දෙය්යෝ කිව්වා. අපේ මැරිච්ච ආච්චි හීනෙන් ඇවිත් කිව්වා “වගේ කතා කියන
එක. නමුත් මෙතන තවත් බරපතල ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි මේ වගේ කිසිම විද්‍යා
ශාස්ත්‍රීය හෝ දේශීය පදනමක් නැති හොර වෙදුන් ගේ වට්ටෝරු වලට “හෙළ ඔසු”
කියන නම යොදන එක. සමහර මාධ්‍ය ආයතන පවා මේවා හඳුන්වන්නට හෙළ ඔසු කියන නම
යොදන්නේ ඒ හොර වෙදුන් අපේ රටේ රෝගීන් කොහොම වුණත් ඒ මාධ්‍ය ආයතන බලධාරීන්
කිසියම් “සුවපත් කිරීමකට’ ලක් කොට ඇති හින්දා වෙන්නත් පුළුවන්. “කාට හරි
දෙවි කෙකෙක් හරි මිය ගිය ඥාතියෙක් හරි ගුප්ත ක්‍රමයකින් බෙහෙත්
වට්ටෝරුවක් කියන්න බැරිද? ” සමහරු මගෙනුත් අහලා තියනවා. ඒත්, දෙවියෙක්
කිව්වත් බ්‍රහමයෙක් කිව්වත් ඒ බෙහෙත ද්‍රව්‍යමය පදාර්ථයක් හින්දා ඒ
තැනැත්තා කළ යුත්තේ ඒ වට්ටෝරුව ගැන ආයුර්වේදයේ එන ද්‍රව්‍ය ගුණ විඥානය
කියන විෂය හදාරපු විද්වතෙකුට දීලා ඒ සංයෝගය ගැන විමසන එකයි. එහෙම නැතුව
තමන් කරමින් හිටපු රස්සාවත් අතහැරලා එක රැයින් වෙදකමට බහින එක නෙවෙයි.
මේ අතරේ අපේ රටේ බොහොම දෙනෙක් බටහිර වෛද්‍ය වරුන්ට එල්ල කරන ලොකුම
චෝදනාවක් තමයි සුද්දන්ගෙන් බටහිර වෙදකම ඉගෙන ගෙන දේශීයත්වයට හෙළ වෙදකමට
පහර ගහනවා කියන එක. ඒ වගේ තමන් ගේ අක් මුල් සිඳ ගත්තු කෙනෙක් දෙන්නෙක්
ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න පුළුවන්. මම නෑ කියන්නේ නැහැ. නමුත් පුංචි කාලේ උණට
හෙම්බිරිස්සාවට ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බලා නොබීපු එකම බටහිර වෛද්‍ය වරයෙක් වත් අපි අතරේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක් . ඒ අනුව මට නම් පේන්නේ බටහිර වෛද්‍ය වරුන්ට එහෙම චෝදනා කරන අය අපේ සැබෑ හෙළ වෙදකමයි මේ වගේ
හොර වෙදුන්ගේ හෙළු වෙදකමයි දෙකම පටලවා ගෙන ඉන්න බවයි මගේ අදහස.
.විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ