පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් 32 කට විරුද්ධව නඩු පැවරීමේ කටයුතු නීතිපතිට දෙයි

January 6, 2021



පාස්කු දින එනම් 2019 අප්‍රියෙල් 21 දින එල්ලවූ ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ සැකකරුවන් 32 දෙදෙනකුට විරුද්ධව නඩු පැවරීමේ කටයුතු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බව  මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .

මහජන ආරක්ෂාව පිළිබඳ  රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ අද (6) දින පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඒ මහතා වෙනුවෙන් පිළිතුරු දෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති යහපාලන රජය විසින් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පරික්ෂණ වාර්තාව සම්බන්ධයෙන් රජයට සෑහීමකට පත්විය නොහැකි යයිද අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේය.

තුන්සියයකට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කර 500 වැඩි පිරිසකට තුවාල සිදුකරමින් 2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී අවුරුදු 2 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර මේ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් රජය විසින් පවත්වාගෙන යනු ලබන බව අගමැතිවරයා වෙනුවෙන් ලබාදුන් පිළිතුරේ සඳහන් විය .

මේ අතර දැනට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව කළ විමර්ශනවලදී තේරීම් කාරක සභා වාර්තාවෙන් සඳහන් නොවූ ප්‍රහාරයට සම්බන්ධ විශේෂ වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කරගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය . ඒ පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ කටයුතු කරගෙන යන අතර 2020-01-31 දින වන විට කොමිසන් සභාවේ විමර්ශන කටයුතු අවසන් වීමට නියමිත බැවින් ඉන්පසු ඒ පිළිබද වැඩි විස්තර දැනගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය .

2019 අප්‍රේල් 23 දින ස්ථාන අටක දී කරන ලද බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් විවිධ අණ පනත් යටතේ විමර්ශනය කර ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වු සැකකරුවන් 32 ට විරුද්ධව නඩු පැවරීම සඳහා උධෘත සකස් කර නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයිද එම පිළිතුරේ සඳහන් විය.

ඉහත 32 දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් 246ක් රැඳවුම් නියෝග සහ රිමාන්ඩ් භාරයේ රඳවා සිටි. ඔවුන් මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ විවිධ උපකරණ, අවිආයුධ ගෙන ඒම සහ මද්‍රසා පාසල් ආදිය පවත්වා ගැනීම මගින් අන්තවාදය පැතිරවීමට කටයුතු කළ පිරිස්ය. ඔවුන්ට විරුද්ධවද විමර්ශන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා විමර්ශන කටයුතු අවසන් වූ වහාම එම වාර්තාව හා හෝ සාක්ෂි පසුබිම් කරගෙන නීති කෘත්‍යන් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

තවද මෙම ප්‍රධාන සිදුවීම් අටට සම්බන්ධව බෝම්බකරුවන් හා ඔවුන්ගේ ඥාතීන් මෙන්ම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන යටතේ විමර්ශනය සිදුකරන බවද ඒ මහතා සදහන් කළේය.

t

o

p