මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් – 19 එන්නත ඉදිරියේදී ලබාදීමට රජය සූදානම් – සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

January 6, 2021

‍ඉදිරියේදී මෙරට ජනගහනයෙන් 20%ක් කට සාර්ථක කොවිඩ් 19  එන්නත  ලබාදීමට  රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (06) අනාවරණය කළාය.

රජය මේ සඳහා ජිනීවා එන්නත් සංවිධානය වන එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ගෝලීය පදනම හෙවත් (GAVI) වෙතින්  පසුගිය වසරේ ජූලි 20 වන  දින ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව කොවැක්ස් (COVAX) පහසුකම ලබා ගැනීම සදහා  කොවැක්ස් වැඩසටහන හා ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් කරන රටක් ලෙස යෝග්‍යතාව තහවුරු කර ඇති බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය තවදුරටත් අනාවරණය කළාය.

මෙරට බෝවෙන රෝග පිලිබඳව උපදේශක කමිටුව එන්නත හෝ එන්නත් කිහිපයක් පිළීබඳව සිය නිර්දේශ ලබාදුන් වහාම  සිය රජය කොවිඩ් එන්නත ගෙන ඒමට කඩිනමින් කටයුතු  කරන බවද ඇය මෙහිදී සඳහන් කළාය.

එන්නත් පහසුකම් මෙරටට ලබාදීම සම්බන්ධව යෝග්‍යතාවය තහවුරු වුවද  තවත් කරුණු රාශියක් සලකා බැලිය යුතු බව ඇමතිනිය සඳහන් කර සිටියේ   අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා විසින් විමසූ ප්‍රශ්නයට අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු දෙමිනි.

කොවිඩ් -19 එන්නත ලබාදීම සඳහා මේ වන විටත් ජාතික නියාමන කමිටුවක් පිහිටුවා ඇති අතර ඒ අතරෙන්  එන්නත පිළිබඳ සඵලතාව, ඉලක්කගත කණ්ඩායම්, එහි පර්යේෂණ වාර්තා, එහි ඇති අතුරු ආබාධ, ඒවා ගබඩා කළ යුතු උෂ්ණත්වය සහ එම එන්නත පිළිබදව ඖෂධ නියාමන ආයතන මඟින් ලබාදී ඇති අනුමැතිය ආදී විශේෂ  ප්‍රමුඛතා හඳුනාගැනීම පිණිස තවත් තාක්ෂණික උප කමිටු තුනක්  කටයුතු කරමින් පවතී.

ඒ අනුව විශේෂයෙන් එන්නත ගබඩාකරණයෙහි ශීතදාමය සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ඇත. එසේම, බෝවෙන රෝග පිළිබඳව මෙරට නීතියට අනුකූලව, ලංකාවේ උපදේශක කමිටුව විසින් එන්නතක් හෝ එන්නත් කීපයක් පිළිබඳව නිර්දේශ ලබා දුන් වහාම එම එන්නත් හෝ  එන්නත  ගෙන්වීමේ කටයුතු කඩිනම් ව සිදු කරනු ඇත .

මේ සම්බන්ධයෙන්  ලාංකික රජයේ සමස්ත ප්‍රවේශයක් ලෙස නීතිමය කටයුතු වෙනත් ගිවිසුම්ගත වීමේ කටයුතු  සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරමින් තිබෙන බවද මෙහිදී අමාත්‍යවරිය හෙළිදරව් කළාය .

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා විසින් විමසූ ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දුන් අමාත්‍යවරිය  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වයෙන් සහ කොවිඩ්- 19  කාර්ය සාධන බලකායේ ද යුද හමුදාපතිවරයා ගේ නායකත්වයෙන් යුතු මෙහෙයුම් මධ්‍යස්ථානයේ ද සමායෝජනය සහිතව වසංගත තත්ත්වය පාලනය සඳහා සමස්ත ජනතාවගේ ම දායකත්වය ලබාගැනීමේ ලබා ගැනීමේ  සියලු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් කළාය .

විශේෂයෙන්ම, මේ වන විටද සියලු සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි අවදානම් ජන කොට්ඨාස වලට ප්‍රමුඛතාව ලබා දෙමින් රට පුරා අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන අතර  සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය පහළොස් දාහක් දක්වා ඉහළ දැමීම, කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ ඇඳන්  11800 කට අධික ප්‍රමාණයෙන් යුතු රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැත්තෑ එකක් (71) මේ වන විට රට පුරා ස්ථාපිත කර තිබෙන අතර  දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය ද ක්‍රමානුකූලව වැඩි කරනු ඇති බවද මෙහිදී ඇමතිවරිය  සඳහන් කළාය. 

t

o

p