පැහැරගත් හිමියන් ඝාතනය කර ඇත්තේ හුස්ම සිර කරලා මරණ පරික්ෂණයෙන් හෙළිවේ

January 6, 2021

හංවැල්ල තුංමෝදර කොඩිකන්ද ආරණ්‍යයේ සිටිය දි පැහැරගත්  උඩුවිල ධම්මසිරි (65) හිමියන් හුස්ම හිරකොට ඝාතනය කොට පසුව පුළුස්සා ඇතැයි පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිව තිබේ.

මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඊ.කේ විජේරත්න මහතා විසින් කළ පශ්චාත් මරණ පරික්ෂණයේදි මේ බව හෙළි දරව් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 02 දා රාත්‍රියේ හංවැල්ල, තුංමෝදර ප්‍රදේශයේ කොඩිකන්ද ආරණ්‍යයේ වැඩ සිටි උඩුවිල ධම්මසිරි හිමියෝ යම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබු අතර පසුව කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමියේ තිබි පිළිස්සුණු උන්වහන්සේගේ මළසිරුර සොයා ගන්නා ලදි.

පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් සේ සලකා විමර්ශන පවත්වන බවත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් එක් අයෙකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. සෙසු සැකකරුවන් ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඝාතනය වූ හිමියන්ගේ දින පොතක්, බැංකු පොතක් හා ලිපි ගොනුවක් මාකොළ නිවසක තිබි සොයා ගෙන ඇති අතර පැහැරගත් හිමියන් මාකොළ උතුර ප්‍රදේශයේ මෙම නිවසට ගෙනවිත් සගවා ගෙන සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සැකකරුවන් අතර ආරණ්‍යයේ වැඩසිටි කුඩා හිමිනමකගේ මව හා පියාද සිටින බවත් මෙය පෞද්ගලික කෝන්තරයක් මත සිදුවූවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

t

o

p