මාවනැල්ල බුදු පිළිමයට පහර දී ඇත්තේ කුඩුකාරයෙක්

January 5, 2021

කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවට පහරදී අලාභහානි කිරීමේ සිද්ධියට අදාළව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

සැකකරු හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් පමණ වන ප්‍රියන්ත සම්පත් කුමාර නැමැත්තෙකු බවත් ඔහු මත් ද්‍රව්‍යවලට දැඩිසේ ඇබ්බැහිවූ පුද්ගලයෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉකුත් දෙසැම්බර් 28 වන දින මාවනැල්ල හිගුල ප්‍රදේශයේ මාර්ගය අද්දර පිහිටි බුද්ධ ප්‍රතිමාවේ ඉදිරි පස විදුලරුව බිද අලාභ හානි කොට තිබුනි. මාවනැල්ල පොලිසිය හා කෑගල්ල විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වූ දින දහවල් සැකකරු ප්‍රතිකාර ගැනීම සදහා පේරාදෙණිය රෝහලට ගොස් ඇති අතර පසුව රාත්‍රියේ කෑගල්ල බලා පැමිණෙද්දි මෙය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. සැකකරු මීට පෙරද පූජනීය ස්ථානවල තිබූ පිංකැට කඩා මුදල් සොරාගෙන ඇති බවට තොරතුරු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

සැකකරු පැමිණි බස් රථය හා සිද්ධියෙන් පසු ඔහු කෑගල්ලට පැමිණි බස්රථ පිළිබදව විමර්ශන පවත්වන බවද හෙතෙම සදහන් කළේය. මෙය අන්තවාදි ක්‍රියාවක් බවට මාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරු වූ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය කිසිදු ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාවක් නොවන බවද පැවසීය.

සැකකරු බුද්ධ ප්‍රතිමාවහන්සේ තිබු කුටියේ ඉදිරිපස වීදුරුව බිද එහි තිබු රුපියල් 60 ක මුදලක් ලබාගත් බවට පාපොච්චාරණය කර ඇතැයි ද කීය.

t

o

p