මුතුපන්තිය දූපතට මුහුද ගැලුවේ පෝට් සිටිය නිසාද ?

January 4, 2021



 පසුගිය දෙසැම්බර් 31 දා අළුයම සිදු වූ හදිසි මුහුද ගොඩ ගැලීමකින් හලාවතට
උතුරින් පිහිටි ආරච්චිකට්ටුව,  මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන්
යටවීම පසුගිය කාලයේ කොළඹ පෝට් සිටිය තැනීම සඳහා නියමිත ප්‍රමිතියෙන් තොරව
මුහුදෙන් වැලි අධික ප්‍රමාණයක් ලබා ගැනීම නිසා සිදු වූවක් බවට මත පළ වී
තිබේ.

පෝට්සිටි ව්‍යපෘතිය සඳහා අවශ්‍ය වැලි ගොඩබිමේ සිට කිලෝ මීටර් දහයක
දුරින් ගැඹුරු මුහුදෙන් ගන්නා බවට ඇති කරගත් සම්මුතිය  උල්ලංඝනය කළ එවක
රජය ඒ සුවිසල් වැලි ප්‍රමාණය මීගමුව සහ ඒ අවට නොගැඹුරු මුහුදෙන් නැව්
මගින් ලබා ගැනීමට අනුමැතිය දී ඇතැයි කියනු ලැබේ.


වෙරළබඩ භූ රූප විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකේය විශේෂඥයෙකු වන සම්මානිත
මහාචාර්ය ජිනදාස කටුපොත ඇතුළු විද්වතුන් වැඩිම පිරිසක් පෝට්සිටි වරාය
නගරය නිසා සිදුවන මෙම බරපතල හානිය පිළිබඳව මුල සිටම දැනුවත් කිරීම් සිදු
කළ ද ඉන් කිසිදු පලක් වී නැතැයි ද කියති.


මෙම මුහුදු පත්ලේ තැන්පත් ව ඇති වසර මිලියන ගණනකට පෙර  නිර්මාණය වූ වැලි
සංචිත පවා ඉවත් කිරීම අතිශය බිහිසුණු කාරියක් බව එවක පෙන්වා දුන්
මහාචාර්යවරයා  අනාගතයේ එම අඩුව පුරවා ගැනීම පිණිස ශ්‍රී ලංකා භූමියේ
බටහිර සහ වයඹ වෙරළ බඩ ප්‍රදේශ වලින් සැළකිය යුතු ප්‍රමාණයක්  මුහුදට කඩා
ගෙන යන බවට හා එම ප්‍රමාණය පෝට් සිටිය සඳහා මුහුදින් ඉවත් කර ගත් වැලි
ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
 

මුළුමනින්ම ධීවර ප්‍රජාවක් වෙසෙන මුතුපන්තිය දුපතේ ආරක්ෂාවට යොදා තිබු
ගල් වැටි ද මුහුදට ගසා ගොස් මුහුදු රළ හිටි හැටියේ  අඩි පහක් පමණ ඉහළට
නැඟී මුතුපන්තිය සුසාන භූමිය සම්පුර්ණයෙන් ජලයෙන් යට වී ගිය බවත් අද වන
විට දූපතේ ආරක්ෂාවට තිබූ ගල් වැටි සහ මුහුදු කන්ද නමින් හැඳින්වෙන
වෙරළාසන්න වැලි වැටිය බිඳ වැටීම මත මෙම දූපතේ මිනිස් ජීවිත සහ දේපල
මහමුහුදට බිළිවීමේ අවදානමක් පැන නැඟී ඇති බවත් මුතුපන්තිය වැසියෝ කියති.
 

එමෙන්ම මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල  වශයෙන් නිවෙස් ආසන්නයේ
ගොඩ ගැසී ඇති බව පවසන මුතුපන්තියේ වැසියන් වැඩිදුරටත් පවසනුයේ සුනාමියේ
දී වත් මෙවැනි මුහුදු රළක් තම දුපතට ගලා නොආ බවකි.


එමෙන්ම පසුගිය සමයේ දඩි බිඩියේ සැළසුම් කළ පෝට් සිටි ව්‍යාපෘතිය නිසා
කෙදිනක හෝ මුතුපන්තිය මුහුදට බිළිවන බව විවිධ පාර්ශව විසින් තම ගම්වාසීන්
දැනුවත් කළ ද අගනුවර ව්‍යාපෘතියක් හලාවත මුතුපන්තියට බලපාන්නේ කෙසේ දැයි
ඔවුන්ගෙන්  විමසූ ගම්වැසියෝ  එය 2015 ජනාධිපතිවරණයේ දී  දේශපාලන වාසි තකා සිදු කළ මඩ ප්‍රචාරයක්  සේ සළකා  ඊට විරෝධය පළ කිරීමෙන් වැළකී සිටි බව
ද  දැන ගත හැකි විය.

මෙම ස්වාභාවික ආපදාව සම්බන්ධයෙන් පුත්තලම දිසාපති
චන්ද්‍රසිරි බණ්ඩාර ගේ උපදෙස් මත පුත්තලම ආපදා කළමණාකරණ ඒකකයේ සහ
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද එහි පැමිණි මුත් ඒ
සම්නධයෙන් ගත හැකි පියවරක් ගැන නිශ්චයකට එළඹ නොතිබිණ. මේ තත්වය යටතේ මින්
මතු තමන් ට තම දරු මල්ලන් ද සමඟ රාත්‍රියට නිදහසේ දෑස් පියා ගැනීමට
නොහැකි තත්වයක් එළඹ ඇතැයි මුතුපන්තිය දූපත් වාසීහු මැසිවිලි නඟති.

මේ තත්වය යටතේ ඉදිරි කාලය තුළ අගනුවරට උතුරින් කල්පිටිය දක්වා මුහුදු
තීරය  ඛාදනයකට ලක් වන බව සමීක්ෂණ කණ්ඩායම් වාර්තා කොට ඇති බව ද මහාචාර්ය
කටුපොත සඳහන් කොට  තිබේ. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ කොළඹට උතුරින්
කල්පිටිය දක්වා බටහිර සහ වයඹ වෙරළ තීරයේ ගම්මාන රැසක් මුළුමනින්ම මුහුදු
බත් වීමේ අවදානමක් පවතින අතර මුතුපන්තිය යනු ඉන් එක් ගම්මානයක් පමණකැයි
කියනු ලැබේ.


දමයන්ති ගමගේ

t

o

p