පොල් කිරෙන් පිදුම් ලබන බහිරව මුත්තා

January 4, 2021


“බහිරවයා අරක් ගත්තා වගේ” කිසියම් ධනයක්, දේපලක් වැනි දෙයක් යමෙකු අනුනට
නොදී තනිවම භුක්ති විඳීමේ දී සමහරු එසේ කියති. එමෙන්ම, නිවසක හෝ ආයතනයක
දියුණුවක්, ප්‍රගතියක් දක්නට නොලැබෙන විට ද එය බහිරව දෝෂ සහිත තැනක් සේ
හැඳින්වීමට ද බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. මෙහි දී “අරක් ගැනීම” ‍යනුවෙන්
අදහස් වනුයේ ආරක්ෂා කිරීමය.

දාහතර වන සියවසේ ලියැවුණු”දළදා සිරිත”කෘතියේ ද මෙම අරක් යන වදන යෙදී තිබේ. අප ජන විශ්වාස පද්ධතියට අනුව බහිරව යනු භූමියට, එහි ඇති ඛනිජ ආදී සම්පත් වලට අධිගෘහිත අමනුෂ්‍ය කොට්ඨාශයකි. දේවත්වයට පත් වූ බවක් සඳහන් නොවන මුත් මොව්හු දේවතාවුන් සේ හැඳින්වෙති. ඒ අනුව මිහිතලය මතුපිට ඇති සම්පත් සුරකින බහිරව කොට්ඨාශය ආතාල බහිරව නමින්
හැඳින්වෙන අතරේ මිහිතලය තුළ ඇති සම්පත් සුරකින බව පැවසෙන බහිරව කොට්ඨාශය
හැඳින්වෙනුයේ පාතාල බහිරව යන නමිනි.

ජන සම්මතයට අනුව පාතාල බහිරව සංකේතය නාගයා වන අතර ආතාල බහිරව සංකේතය සුනඛයාය. භාරතීය වෛදික සංස්කෘතියට අනුව භෛරව යනු ශිව දෙවියන්ගේ රෞද්‍ර ස්වරූපය දක්වන අවතාරයකි. භෛරව යන සංස්කෘත වදනේ අරුත ද බිහිසුණු, බියකරු යන්නය. අනුරාධපුර යුගයේ අප රටට එල්ල වූ මහායාන බෞද්ධ බලපෑම මත මෙම බහිරව දේව විශ්වාසය මෙරටට පැමිණෙන්නට ඇත.

එහෙත්, මිහිතලය හා සම්බන්ධ වස්තුවට අධිපති බහිරවයන් සතුටු කිරීමෙන්
භූමිය භා සම්බන්ධ ලෞකික සැප සම්පත් ලැබිය හැකිය යන විශ්වාසය මෑත කාලීනව
ප්‍රවර්ධනය වූවකි. එය පදනම් කර ගනිමින් අනුරාධපුර අභයගිරි ස්තූපය ආශ්‍රිතව
ඇති සංඛ සහ පද්ම යන බහිරව රූප මුල් කොට අරඹන ලද බහිරව පූජා චාරිත්‍ර
සම්ප්‍රදායක් මේ වන විට ශීඝ්‍ර ලෙසින් ප්‍රවර්ධනය වෙමින් තිබේ. ඒ සඳහා
අගනුවර මහා ධන කුවේරයන්ගේ ද අනුග්‍රහ හිමි වෙතැයි කියනු ලැබේ.
කන්ද උඩරට රාජධානි සමයේ මෙම බහිරව විශ්වාසය ප්‍රබල ලෙස පැතිරී තිබූ බවට
සාධක තිබේ. එකල පවුලක කුළුඳුලේ පිරිමි දරුවකු ඉපදුණහොත් එම පවුලට බහිරව
දෝෂ එල්ල විය හැකිය යන ගුප්ත භීතිය නිසා එම දරුවා බහිරවයාට බිලි දීමේ
චාරිත්‍රයක් තිබූ බව ඉංග්‍රීසි ජාතික ජෝන් ඩොයිලිගේ වාර්තාවල සඳහන්
වෙයි. එමෙන්ම , ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් බහිරවයා සඳහා කන්‍යාවන්
බිලි දුන් බව පැවසෙන කන්ද අද දක්වාම හැඳින්වෙනුයේ බහිරව කන්ද
ලෙසිනි. එහෙත්, ම`විසින් කරනු ලැබූ සියළු හැදෑරීම් අනුව සනාථ වන ලද්දේ අද
අපගේ මාතෘකාවට බඳුන් වන බහිරව මුත්තා ඉහත සඳහන් බහිරවයා නොවන බව ය. මගේ
නිරීක්ෂණ අනුව දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ජනතාවට සාපේක්ෂව නුවර කලාවියේ සහ
හත්කෝරලයේ වැසියන් තුළ මෙම ග්‍රාමීය බහිරව මුත්තා විශ්වාසය දැඩිව පවතී.

භූමිය මතුපිට සහ අභ්‍යන්තරය සම්බන්ධ සියළු වස්තූන්ට අධිපති බහිරව මුත්තා
ඒවා කෙරෙහි ලොල්වීමෙන් එම වස්තුවේ හිමිකරුවන්ට ඒවා නොලැබී යන බව වන්නි
හත්පත්තුවේ පවත්නා ප‍්‍රධාන ජන විශ්වාසයකි. එබැවින්, එම ගේ දොර ඉඩකඩම්
කෙරෙහි ඇල්ම බැල්ම පළකරන බහිරව මුත්තාගෙන් එල්ලවන උපද්‍රව දුරුකරවීම
පිණිස බහිරව පූජා පවත්වනු ලැබේ. විශේෂයෙන් ගොයම් කපා අස්වැන්න කමතට එක්
රැස් කරන විට බහිරව මුත්තා ඊට බැලුම් හෙළන බවත් එවිට එම අස්වනු ප්‍රමාණය
විස්මිත ලෙසින් අඩුවන බවටත් පැරණි ගැමියෝ විශ්වාස කළහ. එහෙත්, කන්නයක්
පුරා අනේක විධ දුක් ගැහැට විඳ කමතට එක් රැස් කර ගන්නා වී අස්වැන්න ගෙට
ගන්නා තුරු ඔවුන්ගේ සිත් තුළින් මතු වන කාංසාත්මක තත්වය මත මෙලෙස කමතට
ගත් අස්වැන්නේ අඩුවක් දැකිය හැකි යැයි නවීන මනෝ විද්‍යාවට අනුව යමෙකුට
සිතෙන්නට පුළුවන.

නමුදු, අතීත ගැමි ජන විඥානය මඟින් එය අර්ථ කතනය කරන ලද්දේ අන් ලෙසකිනි.
“කිසිම පිනක් දහමක් නොකර තමන්ගේ දේපළ ගැන තණ්හාවෙන් පීඩිත වෙලා ඒවාට
විතරක් ඇල්ම බැල්ම හෙලාගෙන හිටපු අයත් මැරුණට පස්සේ බහිරවයෝ හැටියට ඒ ගේ
දොර ඉඩකඩම් වතුපිටිවලට අරක් අරගෙන උපදිනවා. ඒ මිනිස්සු පස් පව්, දස
අකුසල් කළා නම් ප්‍රේ‍ත ආත්මයක උපදින්න පුළුවන්. නමුත් එහෙම පව් නොකරපු
අය උපදින්නේ ප්‍රේතයන්ට වඩා බලවත් බහිරව දේවතාවුන් හැටියට” වන්නි
හත්පත්තුවේ උප ප‍්‍රධාන සංඝනායක පදවිය හෙබවූ අපවත් වී වදාළ පූජ්‍ය
පොතානේගම ධීරානන්ද හිමියන් විසින් පැරැණි වන්නි හත්පත්තුවේ පැවැති බහිරව
මුත්තා විශ්වාසය හඳුන්වා ඇත්තේ එලෙසිනි. උන් වහන්සේ ගේ එම ප්‍රකාශය මගේ
ලේඛන කිහිපයක ද සඳහන් ව තිබේ.


කුඹුරෙන් කමතට ගනු ලබන අස්වැන්න බහිරව මුත්තාගෙන් රැක ගැනීම පිණිස සිදු
කරනු ලබන අභිචාර විධි හෙවත් කමත් චාරිත්‍ර බොහොමයකි. කුඹුර මැද කමත සඳහා
තෝරා ගන්නා ස්ථානය අරක් පොළ නමින් හැඳින්වෙන අතර කමත මැද සාදන වල
හඳුන්වනුයේ අරක්වල හෙවත් මුත්තාවල යනුවෙනි. කමත මැද තැන්පත් කරන ගල අරක්
මුත්තා යනුවෙන් හැඳින්වෙන අතර බහිරව මුත්තා සඳහා වෙන් කරනු ලබන පොල්
ගෙඩිය අරක් පොල් නමින් කමත් භාෂාවේ දී හඳුන්වනු ලැබේ. මෙහිදී බහිරව
මුත්තා සතුටු කිරීම පිණිස හීරැස්ස, තොලබෝ, ඉළුක්, රඹුක්, යකඩ, හක්
බෙල්ලා, කොලොඹ, පෝරුව ආදිය අරක්වලේ හෙවත් මුත්තාවලේ තැන්පත් කෙරේ. ඒවා
අරක් නිදන් හැඳින්වෙන අතර කමත මැද අරක්වලේ තැන්පත් කිරීමට එම ආරක්ෂක
ද්‍රව්‍ය දමාගෙන යන පෙට්ටිය අරක් පෙට්ටිය යනුවෙන් හඳුන්වනු ලැබේ.


කමත් භාෂාවේ එන මෙම වාග් මාලාව සහ අස්වැන්නට අරක් ගත් බහිරව මුත්තා අතර
කෙබඳු යාවජීව සම්බන්ධයක් ඇත්දැයි ඔබට මේ අනුව සිතෙන්නට පුළුවන. සමහර
ප්‍රදේශවල සිදු කෙරෙන මෙම කමත් චාරිත්‍ර වල විෂමතා සේම බහු දේවතා
අභිචාරාත්මක ලක්ෂණ ද දක්නට තිබේ. නමුත්, මෙම මුත්තා සම්බන්ධ අභිචාර ලක්ෂණ
නොමැති කමත් චාරිත්‍රාවලියක් මට නම් හමු වී නැත.


මෙහිදී නුවර කලාවිය සහ වන්නි හත්පත්තුව ආශ්‍රිත පුරාණ වැව් ගම් ආශ්‍රිත
කිරි ඉතිරවීමේ මංගල්‍යය මෙම මුත්තා දෙවිවරුන් උදෙසා සිදු කරනු ලබන විශේෂ
පූජා චාරිත්‍රයකි. මෙහිදී අදාළ භූමි ප්‍රදේශයට අරක් ගත් බහිරවයන් ස්මරණය
කෙරෙන අතර අදාළ කන්නයෙන් ලද පළමු අස්වැන්නෙන් ඔවුන් පුදනු ලැබේ. අතීතයේ
එම කුඹුරු ඉඩකඩම් භුක්ති විඳ තවමත් ඒවාට ඇල්ම බැල්ම හෙළා හිඳින පැරණි
ඥාතීන් හෙවත් ‘මුත්තා වරුන්’ තුටු පහටු කිරීම ද මෙම කිරි ඉතිරවීමේ
මංගල්‍යයේ ප්‍රධාන අරමුණු අතර වෙයි. එය වැව් ඉහත්තාවක් මුල් කොට සුවිසල්
වනස්පති වෘක්ෂයක් මුල් කොට මුළු ගමේම සහභාගීත්වයෙන් සිදු කරනු ලබන යාතු
කර්මයකි. එම චාරිත්‍රය කෙතරම් පාරිශුද්ධ ද යත් නිතිපතා එය සිදු කරන මුත්තා
පොල නම් ස්ථානය ද සුපුරිසිදු තැනක් සේ සළකනු ලැබේ.

දහනව වන සියවසේ මැද භාගයේ නුවර කලාවියේ ආණ්ඩුවේ ඒජන්ත පදවිය හෙබ වූ
ආර්.ඩබ්ලිව්. අයිවර්ස් විද්වතාණන් පවසන පරිදි පැරණි නම් ගැමියන්
කෘෂිකාර්මික ජීවිතයේදී කමත් භාෂාවක් භාවිතා කොට ඇත්තේ එමගින් එම
කෙත්වතුවලට අරක් ගත් අමනුෂ්‍යකාරකාදීන් නොමග යවා කෘෂි අස්වැන්න
නිරුපද්‍රිත ලෙස ගෙට ගැනීම පිණිස ය.


අපගේ ජන සංස්කෘතිය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමේදී අතීතයේ
සිට නුවර කලාවිය, හත්කෝරලය ආදී ප්‍රදේශවල ගැමියන් මෙම බහිරව මුත්තා උදෙසා
කිරි ඉතිරවීම පිණිස එළකිරි වෙනුවට ‍පොල්කිරි යොදා ගත් බව පෙනෙයි. ඔවුන්
මෙන්ම දකුණේ ධීවර ජනතාව, බින්තැන්නේ වැදි ජනතාව සහ ශ්‍රී ලාංකීය තෙළිඟු
(අහිගුණ්ඨික) ජනතාව ද ඉතිරවීම් සඳහා එළකිරි යොදා නොගන්නා බව කියති. ඒ
අනුව ඒවා ‍පොල් හෝ වෙනයම් කිරි විශේෂයක් විය හැක. මෙහිදී ධීවරයන් පොල්
කිරි යොදා කිරි ඉතිරවීම කරනුයේ ගරායකු හට කරන පුද පිළිවෙතක් ලෙසිනි. වැදි
ජනතාව ද පොල් කිරි ඉතිරවීම නෑ යකුන් පිදීමේ චාරිත්‍රයක් වශයෙන් ඉටු කරති.
ශ්‍රී ලාංකීය ආන්ද්‍රා දේශයෙන් මෙරටට අහිගුණ්ඨික ජනතාව ඉතිරවීම පිණිස
එළකිරි යොදා නොගනුයේ එය ද කිනම් හෝ පැරණි යක්ෂ වන්දනාවක අභිචාරාත්මක
කටයුත්තක් නිසාම විය හැක. එමෙන්ම බහිරව මුත්තා සඳහා කරනු ලබන පුද පිළිවෙත්
වලට එළකිරි වෙනුවට පොල්කිරි යොදා ගැනීමට ද විශේෂ හේතුවක් තිබේ.

එනම් එළකිරි යනු එළදෙනුන්ගේ රුධිර ධාතුවෙන් ඉපදෙන්නක් බැවිනි. පත්තිනිය වැනි පාරිශුද්ධ
දේවතාවියක් වෙනුවෙන් කිසිදු බියකින් සැකයකින් තොරව එළකිරි යොදා ගන්නා
ගැමියන් බහිරව මුත්තා පිදීමට පොල් කිරි යොදා ගනු ලබනුයේ දේවතා නමින්
හැඳින්වුවද ඔහු යක්ෂ සම්භවයකට අයත් කෙනෙකු බැවිනි.


තිලක් සේනාසිංහ

t

o

p