ශ්‍රී ලංකා වරාය අධිකාරිය නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයට මුල්ගල තබයි

January 4, 2021


කලාපීය කේන්ද්‍රිය වරායක් ලෙස කොළඹ වරාය ගෝලීය සැපයුම් දාමය සහ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සැපයුම් දාමය සංවර්ධනය කරමින්, වරාය තර්ගකාරීත්වය පවත්වා ගනිමින්, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව වරාය සේවා පහසුකම් සංවර්ධනයට පියවර ගෙන තිබේ. ඒ යටතේ කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණෙන් නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය ට මුල්ගල තැබීම අද දින (2021.01.04) සමගි බහලු පර්යන්ත පරිශ්‍රයේ දී සිදුවිය.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ගුදම් පහසුකම්, බහලු අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නාවික කර්මාන්ත රාජ්‍ය ගරු අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් පැවතී මෙම උත්සව අවස්ථාව ඇමතු වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා,

මේ මොහොත වරායේ උන්නතිය වෙනුවෙන් දායක වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ විශේෂිත පිටුවක් පෙරලන මොහොතක් බැව් පැවසීය. මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය නිසි කාල වකවානු තුළ ඉදිකරමින් වරාය සේවා සැපයුම් දාමය නවීන තාක්‍ෂණික පහසුකමින් සමන්විත විශිෂ්ඨ සේවා සැපයීමක් කරා යොමු කිරීමට ඉවහල් වන බැව් තමා අපේක්‍ෂා කරන බැව් පැවසීය. තවද, වරාය භූමිය තුළ ඉදිකිරීම් සිදුකිරීමේ දී ජාතික ප්‍රතිපත්ති සැළසුම්වලට අනුකූලව කටයුතු කරමින් වරාය භූමිය ආරක්‍ෂා කරමින් කටයුතු කිරීමට තමා නිරන්තරයෙන් වරාය අධිකාරියේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට උපදෙස් ලබා දෙන බවත් පැවසී ය.

එමෙන්ම වරාය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී එකී තීන්දු තීරණ රටේ අනාගතය ශක්තිමත් කිරීමට නිසැකයෙන්ම ඉවහල් විය යුතු යැයි තමා විශ්වාස කරන බවත්, අකර්මන්‍ය වී තිබූ වරාය නැවත පණ ගන්වන්නට තමා කටයුතු කරන බවත් අවධාරණය කළේ ය. 

මෙම අවස්ථාවේ උත්සව සභාව ඇමතු  ගුදම් පහසුකම්, බහලු අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නාවික කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යළිත් ස්වර්ණමය දිශානතියකට ගමන් කරමින් සිටින බවත්, අද දවසේ වරාය සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමින් ඉදිකිරීමේ වැඩ ඇරඹෙන මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තරගකාරී වරායයන් අතර, ප්‍රමුඛතම තලයට රැගෙන එතැයි තමා විශ්වාස කරන බැව් පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ද මෙහිදී අදහස් දක්වමින්, සේවා සැපයුම් අවශ්‍යතා අදට ගැලපෙන ලෙසින් නවීකරණය කරමින්, නවීන තාක්‍ෂණය සමග අනුගතව ඉදිකිරීමට යෝජිත මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය වසරක් තුළ ඉදිකිරීමට අපේක්‍ෂා කරන බවත්, 2022 ජනවාරි මස එළඹෙන විට මෙම මධ්‍යස්ථානයේ ගුදම් පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෙසින් අපේක්‍ෂා කරන බවත් පැවසීය.

මෙම යෝජිත බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය තුළ සාමාන්‍ය නැව්බඩු සඳහා වර්ග මීටර් 9,500 ක් ද අන්තරායකර නැව්බඩු ගබඩා කිරීම් සඳහා වර්ග මීටර් 1060 වපසරියකින් ද සමන්විත ය.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධම්මික මාතරආරච්චි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, කළමණාකාර අධ්‍යක්‍ෂ එච්.ඩී.ඒ.එස්.ප්‍රේමචන්ද්‍ර, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (පරිපාලන හා මෙහෙයුම්) උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (තාක්‍ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අධ්‍යක්‍ෂ (මානව සම්පත් හා සංවර්ධන) නලින් අපොන්සු මහතා ඇතුළු කළමණාකාරීත්වයේ උසස් නිලධාරි මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක් වී ය.

t

o

p