2020 – 2021 ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 29 වන දිනට යෙදෙන උඳුවප්
පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ වුව ද රට පුරා පවතින කොරෝනා වසංගත
තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර
ශ්‍රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව
දෙසැම්බර් 27 වනදා පස්වරුවේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර ඇති
සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වන දා උදෑසන ශ්‍රී පාදස්ථානය
දක්වා වැඩම කරවිමට නියමිතය.
මෙම පෙරහැර මාර්ග හතරක් ඔස්සේ ශ්‍රී
පාදස්ථානය වෙත ළඟා වන අතර එක්
මාර්ගයකින් පුද්ගලයින් 50 දෙනෙකු බැගින්
උපරිම පුද්ගලයින් 200 දෙනෙකු
පමණක් ඒ සඳහා සහභාගී කරවීමට තීරණය කර තිබේ. එමෙන්ම
ශ්‍රී පාද වන්දනාව
සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමන් අයත් ප්‍රාදේශීය
ලේකම් කාර්යාලවල
ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබාගැනිම
අනිවාර්ය බව ශ්‍රී
පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති. මෙම
තත්වය කෙසේ වෙතත්
වත්මන් සමාජ සංකීර්ණත්වය හමුවේ ශ්‍රී පාද වන්දනාවේ
ඇති ගුණාත්මක බවේ
පිරිහීම අනුව වෙනත් අරමුණු තකා ශ්‍රී පාද අඩවියට
පිවිසෙන්නවුන් පාලනය කළ
යුතු බව අවධාරණය කරන පිරිසක් ද අප අතර සිටිති. ඔවුන්
අතරින් විද්වතුන්
තුන් පළක් අප හා
අදහස් පළ කොට සිටියේ මෙලෙසිනි.
අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ
මහාචාර්ය පූජ්‍ය
පාතේගම ඥානිස්සර හිමි:
මේ රටේ ජනගහනයෙන් තුනෙන් දෙකකටත් වඩා ඉන්නේ බෞද්ධයෝ. ඒ හැමෝම බුද්ධාගම රැක ගැනීම ගැන ලොකු උනන්දුවකින් කතා කරනවා. ඒත් ඒ අතරින් තමන්ගේ බෞද්ධ කම රැක
ගන්න ඕනේ කියලා හිතන්නේ බොහොම සුළු පිරිසයි. අනිත් වැඩි දෙනා තමන්ගේ බෞද්ධ
කම රැක ගන්නවා තියා සැබෑ බෞද්ධකම කියන්නේ මොකක්ද? කියලා වත් දන්නේ
නැහැ. අද හුඟ දෙනෙක් බුද්ධාගමින් රට හදන්න යනවා මිසක් බුදුන්ගේ දහමට
අනුව තමන් හැදෙන්න බලන්නේ නැහැ. ඉස්සර අපේ මුතුන් මිත්තෝ වන්දනා ගමනක
යෙදුණේ “නෙඛ්කම්ම” ඒ කියන්නේ පස්කම් සැපයෙන් නික්මීම අරමුණු කරගෙන. ඒ ගමන
පුරාම සිත; කය’වචනය යන තුන් දොරින් හික්මීම
මුල් කර ගත් සතුටක්, සැනසීමක් භුක්ති විඳීමේ කලාව අපේ පැරණි මිනිස්සු
දැනගෙන හිටියා. ඒ කාලේ දුෂ්කර කඳු තරණයක් වුණු ශ්‍රී පාද වන්දනාවේ දී මේ
සියල්ලම ආරක්ෂා වීම මත ඒ වටා විශේෂ උප සංස්කෘතියකුත්
නිර්මාණය වුණා. ඒ සංස්කෘතිය තුළ කරුණාව කියන වචනය කේන්ද්‍රීයත්වයට පත්
වුණා. ශ්‍රී පාදවන්දනා වේ යාමේදී යනවා වෙනුවට පාවිච්චි කළේ සිරීපාදෙ කරුණා
කරනවා කියන වචනය. ඒ වගේම ඒ කරුණා කරන කණ්ඩායම හැඳින්වුණේ නඩය කියන නමින්. ඒ කණ්ඩායමේ නායකයට කිව්වේ නඩේ ගුරා කියලා, මුල් වරට ශ්‍රී පාද වන්දනාවේ යන
අය කෝඩු, කිරි කෝඩු නමින් හැඳින්වුණා.වන්දනාවේ යන කොට අරගෙන ගිය බර පොදියට
කිව්වේ සැහැල්ලුව කියලා. ඒ වන්දනා ගමන පුරාවට තිබිය යුතු විනය සංවරය බිඳ
දැමීම කට වරද්දා ගැනීම ආදී වශයෙන් හඳුන්වන්නටත් අපේ පැරණි සමාජය පසුබට
වුණේ නැහැ. අතීත ජනයා ඒ හැම දෙයක්ම කළේ ලොකු සතුටක් සැනසීමක් ලබන්නත්
එක්කයි. නමුත් අද සමාජයට මේ කතා විහිළු සරදම් විතරයි. මම කියන්නේ නැහැ; ඒ
අතීත සංස්කෘතිකාංග සියල්ල ඒ විදිහටම ආරක්ෂා විය යුතුයි කියලා.
නමුත් ඒවා නිසා ආරක්ෂා වුණු විනය, සංවරය සදාචාරය නම් ආරක්ෂා විය
යුතුමයි. එහෙම නැති නම් “පොලේ යනවා වගේ” ශ්‍රී පාද කාලයට ලක්ෂ ගණන් ඒ
වටා ඒකරාශී වීමෙන් කිසිම පලක් නැහැ. ඒ හින්දා මම හිතන්නේ අද තියන සමාජ
වාතාවරණයේ හැටියට ශ්‍රී පාද වන්දනාව නන්නත්තාර ට්‍රිප් එකක් කර ගන්නට
තියන සියළු ඉඩකඩ අහුරලා ශ්‍රී පාද වන්දනාව මුල් කර ගත්තු විනයාරක්ෂක වැඩ
පිළිවෙලක් ඇරඹිය යුතුයි කියලයි.,ඒ වන්දනා කරුවන් අතරේ තියන”රොඩු බොඩු”
අයින් වෙලා යන විදිහට
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව
විද්‍යාලයීය මානව විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත්
අභයසුන්දර:
වන්දනා ගමන කියන්නේ ආධ්‍යාත්මික සංකල්ප මත පදනම් වුණු හා චාරිත්‍ර
වාරිත්‍ර පද්ධතියක් මුල් කරගත්තු සදාචාරාත්මක ක්‍රියා දාමයක් මිසක් තවත්
එක ගමනක් නෙවෙයි. මේ ක්‍රියාදාමය තුළ පූජා චාරිත්‍ර, අභිචාර විධි ආදී කායික
මානසික ක්‍රියා සමුදායක් අඩංගු වෙනවා. ඒක හැම ආගමකටම පොදු තත්වයක්. අපේ ජන
සමාජයේ වුණත් කිතුණු, හින්දු, ඉස්ලාම් වන්දනා ගමන් පිළිබඳව විමසන කොට මේ බව
තේරුම් ගන්න පුළුවන්. බෞද්ධ සම්ප්‍රදායේ වන්දනා ගමනක් ඇරඹෙන්නේ “පේ වීම
කියන ක්‍රියාවලියෙන්. මේ වචනය හැදිලා තියෙන්නෙ “පෙහෙ” කියන වචනයෙන්. පෙහෙ
කියන්නේ සිල්වත් බවට. ඒකෙන්ම පැහැදිලි වෙනවා; ආචාර විද්‍යාත්මක ශික්ෂණය
කියන්නේ වන්දනා ගමනක සමාරම්භක කටයුත්තක් බව. ඔය අතරේ තව ඉන්නවා සිද්ධස්ථාන
දැක බලාගන්න එන පිරිසකුත්. ඒ අයට කියන්න වෙන්නේ සංචාරකයන් කියලා. ඔය අතරේ
තව ඔය වගේ පුදබිම්වලට එකතු වෙනවා විනෝද කාමීන් පිරිසකුත්. ඒ අය පුදබිම්
වලට යන්නේ කානිවල් පොළවල් වලට යනවා වගේ. ශ්‍රී පාදස්ථානය කියන්නේ ඔය වගේ
සියළුම පාර්ශවයන් ඒකරාශී වෙන තැනක්. නමුත්, දැන් ආරංචි ලැබෙන විදිහට මේ
අන්තිමට කියපු පිරිසේ ශීඝ්‍ර වැඩිවීමක් දකින්න පුළුවන්. ඒ වගේම ශ්‍රී පාද
පුදබිමෙන් ආරංචි වෙන තොරතුරු වලට අනුව ඒ විනෝදය නීති සහ සදාචාරාත්මක
සීමාවන් ගෙන් පිට පනින සිදුවීම් දවසින් දවසම වැඩිවෙනවා. මේවා තව දුරටත්
ප්‍රවර්ධනය වුණොත්මේ පිරිස් අතරේ කල කෝලාහල ඇතිවෙලා මිනී මැරුම් වුණත් ඇති
වෙන්න පුළුවන්. මේ තත්වය යටතේ සැබෑ වන්දනාකරුවන් තුළ ශ්‍රී පාද වන්දනාව
පිළිබඳව පසුබෑමක් ඇති වීම ස්වාභාවිකයි. ඒක මේ උතුම් ආගමික සංස්කෘතික කේන්ද්‍රස්ථානය වල්මත් සැනකෙලි බිමක් වීමේ ආරම්භය වෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී පාද වන්දනාව සම්බන්ධයෙන් දැඩි විනයාරක්ෂක වැඩ පිළිවෙලක් ඇරඹීම තුළින් සැබෑ වන්දනා කරුවන්ට වැඩි
ඉඩකඩක් ලැබෙන විදිහට ඊට අනවශ්‍ය පුද්ගලයන් පිවිසීම පාලනය කළ යුතු බවයි
මගේ අදහස.
ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ්:
සංචාරක කටයුතු හේතුවෙන් ස්වභාවික පරිසර පද්ධති වලට විවිධ පරිමාණයේ සහ
විවිධ ස්වරූපයේ බලපෑම් රැසක් එල්ල වෙනවා. පා ගමනින්, වාහන හෝ යාත්‍රා
මගින් සිදුකෙරෙන සංචාරක ක්‍රියාකාරකම් මීට අයත්. සංචාරක කර්මාන්තය හරහා
ස්වභාවික පරිසර පද්ධති තුළට ඇතුළුවන පුද්ගලයින් සහ වාහන මගින් වනජීවීන්
මරණයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ යාල සහ හෝටන්තැන්න වගේ ජීප් රථ වලින් සහ පා
ගමනින් ගමන් කරන ජාතික උද්‍යානය තුළ සිදුකර ඇති අධ්‍යයන මගින් පවා මේ බව
පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. එමගින් දුර්ලභ වන ජීවීන් වඳවීම
නොවැලැක්විය හැකියි. ඒ වගේම සංචාරක මාර්ග මගින් කුඩා වනජීවීන්ගේ වාසභූමි
ඛණ්ඩනයවීම ඔස්සේ ඔවුන්ගේ ගහන කුඩා කොටස් වලට කැඩී විසිරී යාමෙන් ජාන
විවිධත්වයට පවා බලපෑම් එල්ල වෙනවා. එමගින් වනජීවීන්ගේ ලේ නෑයන් අතර
සිදුවන අභිජනනය මගින් අනාගතයේදී දුර්වල ජාන සහිත
ජීවීන් ඇතිවීම සිදුවෙනවා. ඇතැම් වන ජීවීන්ගේ ස්වාභාවික හැසිරීම් රටා
වෙනස්වීමටත් මෙවැනි සංචාරක කටයුතු හේතු වෙනවා.සංචාරකයින් විසින් මෙවැනි
පරිසර පද්ධති වල ඇති විසිතුරු ශාක ගලවාගෙන යාම, වනජීවී වාසස්ථාන සහ කැදලි
විනාශ කිරීම, සතුන්ට හිංසා කිරීම, සතුන් මරා දැමීම වැනි කරුණු මගිනුත් එම
ශාක හා සතුන් විශේෂ වඳවීම සිදුවෙනවා. සංචාරක කර්මාන්තයත් සමග ඒ අවට දඩ
මස්, සත්ව කොටස් සහ වනජ ද්‍රය සඳහා ඇති ඉල්ලුම ඉහළ යනවා. එමගින්
වනජීවීන්ට හා ස්වභාවික පරිසර පද්ධතිවලට තර්ජන එල්ලවෙනවා..ශ්‍රී පාද අඩවිය
වැනි ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඉතා සංවේදී පරිසර පද්ධති හරහා
සිදුකෙරෙන වන්දනා ගමන් මගින් මෙවැනි අයහපත් බලපෑම් ප්‍රබල විදිහටම සිදු
වෙනවා ශබ්ද නැගීම වැනි කටයුතු මගින් වනජීවීන්ගේ ජීවන රටාවට බලපෑම්
එල්ලවනවා වගේම ආලෝක ධාරා වැනි දෑ මගින් වනජීවීන් ඒ වෙත ආකර්ෂණය කරගන්නා අවස්ථා තිබෙනවා. වන්දනා කරුවන් මුදා හරින පොලිතීන්, ප්ලාස්ටික් වගේ නොදිරන ද්‍රව්‍ය ඇතුළු කැලි කසළ, සබන් සේදුම් කුඩු ෂැම්පු මල අපද්‍රව්‍ය මගින් පස සහ ජලය දුෂණය වෙනවා. අපද්‍රව්‍ය සහ මල ද්‍රව්‍ය ජලාශ්‍රිත පරිසර පද්ධති වලට ගලා යාමෙන් ඒවායේ ජලයේ රසායනික
සහ භෞතික ලක්ෂණ වෙනස් වීමෙන් ඒවායේ ජීවත්වන ජලජ ජීවීන් විනාශවී යනවා.
ආවේණික මත්ස්‍ය සහ උභයජීවී විශේෂ මීට අයත්. වන්දනා කරුවන්ගේ අධික තදබදය
හේතුවෙන් එම පරිසර පද්ධතියේ වාතය පවා දුෂණය වෙනවා. ආගන්තුක ආක්‍රමණශීලී
ශාක සහ සත්ව විශේෂ ස්වභාවික පරිසර පද්ධති ආක්‍රමණය කිරීමටත්
මෙවැනි කටයුතු හේතුවී තිබෙනවා. ඒ අර්ථයෙන් ගත්තම කොරෝනා රෝග ව්‍යාප්තිය
පැත්තක තිබිය දී ඒ අතිශය වැදගත් පාරිසරික පද්ධතියට එල්ල වන අහිතකර මානව
බලපෑම් සීමා වෙන විදිහට ශ්‍රී පාද වන්දනා ගමන් සීමා වීම ඉතාම වැදගත්
පාරිසරික මෙහෙවරක් හැටියටයි මම දකින්නේ
දමයන්ති ගමගේ