මල්වර යුවතියන්ගේ රැඟුමින් පිදුම් ලබන වැහිගම්පල මුත්තා

December 28, 2020


මිනිසුන්, සතා සීපාවුන්, ගහ කොළ මුල් කොට ගත් සමස්ත මිහිතලයටම ජීවය දෙන ජල
සම්පත පූජනීයත්වයෙන් සැලකීමට අනාදිමත් කාලයක සිට මිනිසා පුරුදු පුහුණුව
සිටියේය. ලොව ප්‍රධාන ආගම් බිහි වීමට පෙර මිනිසා ප්‍රාථමික ඇදහිලි වලට
නැඹුරු වී සිටි කාලයේ සිට සිදු වූ ආධ්‍යාත්මික චාරිත්‍ර සඳහා ජලය යොදා
ගැනීමෙන් එය තහවුරු වෙයි. ඒ අනුව ඒ සියළු අවශ්‍යතා සපුරන ජලය අහසින්
පොළොවට ඇද හැලෙන වර්ෂාවට ආදී යුගවල සිට මිනිසා විසින් දේවත්වයක් ආරෝපණය
කරන ලදී. මෙම පැරණි මානවීය භාවිතය අනුව යමින් දෝ පැරණි භාරතීය භාෂාවක් වන
මාගධී හෙවත් පාලි බසෙහි වර්ෂාව හඳුන්වනු ලබනුයේ “දේවෝ” යනුවෙනි.


ලොව බොහෝ රට වලට සාපේක්ෂව සම ශීතෝෂ්ණ නිවර්තන දේශගුණයකින් යුතු අපේ රට
නිසි කලට වැසි ලැබෙන රටක් බව පැරණි විදේශීය වාර්තා මඟින් පවා සනාථ
වෙයි. නමුදු තෙත් සහ වියළි වශයෙන් දේශගුණික කලාප වලට බෙදිය හැකි අප රටේ
නියං කාලයන් ඇති නොවන්නේම නොවේ. විශේෂයෙන් හේන් කුඹුරු ආදී වශයෙන් ගොඩ, මඩ
ගොවිතැන් කෙරන වර්තමාන උතුරුමැද සහ වයඹ පලාත් වල නිසි කලට වැසි ප්‍රබල අවශ්‍යතාවක් විය. ඒ යල සහ මහ කන්නවල දී වගා කටයුතු ඇරඹීම පිණිස වැස්ස අනිවාර්ය සාධකයක්
බැවිනි. අද අපගේ කතා බහට ලක් වන වැහිගම්පල මුත්තාගේ කතාවට පිවිසිය හැක්කේ
එතැනිනි.

සෙසු මුත්තාවරු දෙවිවරුන් හා සසඳන විට මෙම වැහිගම්පල මුත්තා සතු
විශේෂත්වයන් කිහිපයකි. කිසිදු දේවාලයක පුද පූජා නොලබන මෙම දෙවියන් උදෙසා
තෙල්, මල්, පහන්, සුවඳ දුම් පූජා වට්ටි යාදිනි, කන්නලව්, කෝල් මුර ආදී කිසිත්
නැත. ඒ නිසාම සෙසු දෙවිවරුන් උදෙසා පැවැත්වෙන පෙරහැර, නානුමුර ආදිය ද
නැත. එවන් පුද සත්කාර කිසිත් නොලැබුවද තමන් වෙනුවෙන් නිසි කලට වැසි ලබා
දීම වැහිගම්පල මුත්තාගේ යුතුකමක් හා වගකීමක් බව පැරණි ගැමි විශ්වාසයයි.

බෞද්ධ සාහිත්‍යයට අනුව වැස්ස වලාහක, වාත වලාහක ආදී ආකාශවාරී
හෙවත් අහසේ සැරිසරන දෙවිවරු සමූහයක් සිටිති. අංගුත්තර නිකායේ චතුක්ක
නිපාතයේ එන අධම්මික සූත්‍රයට අනුව රජුන් හෙවත් පාලකයන් අදැහැමි වන විට
වැස්ස වලාහක දෙවිවරුන් නිසි කලට වැසි ලබා නොදීම මත රටේ ධන ධාන්‍ය වැනසී
ගොස් සාගත, වසංගත හා අමනුෂ්‍ය බිය හට ගනී.

දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ

යන ප්‍රාර්ථනා ගාථාව එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ජන සමාජයේ අතිශය ප්‍රචලිත
ව ඇත්තේ එනිසාය. නමුදු ඒ බෞද්ධ විශ්වාසය සහ මෙම වැහිගම්පල මුත්තා පිළිබඳ
ජන විශ්වාසය සම්බන්ධ කෙරෙන පුරුකක් සොයා ගත නොහැක. ඒ අනුව අපට අනුමාන කළ
හැක්කේ මෙම දේව විශ්වාසය අපගේ ජන ආගම හා සම්බන්ධ වූවක් බව ය.
අප රටේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වාර්ෂික වර්ෂාපතන රටාව මත පදනම් වන
අතර යල මහ කන්න දෙක බිහි වී ඇත්තේ ඒ අනුව ය. වසරේ මාර්තු සිට
සැප්තැම්බර් දක්‌වා යල කන්නය ලෙසත් ඔක්තෝබර් සිට මාර්තු තෙක් මහ කන්නය
ලෙසත් සලකනු ලැබේ.

මෙම කෘෂිකාර්මික කන්න දෙකම වසරේ අන්තර් මෝසම් කාල දෙකේදී ඇරඹෙන අතර යල කන්නය පළමුවැනි අන්තර් මෝසමේදීත්, මහ කන්නය දෙවැනි අන්තර් මෝසමේදීත් ආරම්භ වෙයි. නමුදු අප රටේ තෙත් කලාපයට හෝ වියළි කලාපයේ මහ වැව් ආශ්‍රිත ප්‍රදේශ වල ගොවීන් මුහුණ නොදෙන ජල ගැටළුවකට ගම් වැව් ආශ්‍රිත ගොවීහු මුහුණ දෙති. මෙම වැහිගම්පල මුත්තාගේ පිහිට අවශ්‍ය ඔවුනට
පමණක් නිසා මෙම ඇදහීම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී තිබේ. සමහර
මුත්තා දෙවි වරුන් හැඳින්වෙනුයේ ග්‍රාම නාමයක් මුල් කරගනිමිනි. එහෙත්
වැහිගම්පල නමින් ප්‍රදේශයක් තබා ගමක්, ගම් කොටුවක් වත් ඇති බවක් දැන ගන්නට
නැත. ඒ අනුව මෙම මුත්තා හඳුන්වන වැහිගම්පල නාමය වර්ෂාව ලබා දීම පිළිබඳ වූ
යන අරුතින් පට බැඳුණු එකක් සේ පෙනෙයි. ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජන ශ්‍රැති
පිළිබඳ විශාරදයකු වන කේ.බී මානෑව සූරීන් සඳහන් කරන අන්දමට නුවර කලාවියේ
ගැමියන් වර්ෂාව ලැබීම “වැහිගම්පල මුත්තාගේ කරුණා කිරීමක්” සේ හඳුන්වන අතර
වැහිගම්පල මුත්තා යනු වැහි වලාකුළු හඳුන්වන නමකි. ඉහත සඳහන් පැරණි වැව් ගම්මාන වලට නිසි කලට වැසි නොලැබීම මුල් කොට වැහි බලිය නම් චාරිත්‍රයක් සිදු කරනු ලැබේ .ඒ වැහි බලිය වැහිගම්පල මුත්තා උදෙසා ය.

නියඟය නිසා ගමට සිදු වූ නස්පැත්තිය කියා පෑම පිණිස යම් යම් සංකේත ද එසේ තනනු ලබන බලිය මඟින් ඉදිරිපත් කරනු ලැබේ. දිය සිඳුණු වැවක මිය ගිය මත්ස්‍යයකුගේ කර වී ගිය සිරුරක් ඉන් එක් සංකේතයකි. පසුව ඉනුදු සතියකින් පමණ වැසි නොලැබුණ හොත් වැහිගම්පල මුත්තා උදෙසා වැහි බලි
යාගයක් සිදු කරයි. මෙය මෙරට දෙවියකු උදෙසා කරනු ලබන අමුතුම පිදවිලි
ක්‍රමයකි. වැහිගම්පල මුත්තා ගෙන් හොඳින් බැරි නම් නරකින් වැස්ස ලබා ගැනීමේ
මෙම චාරිත්‍රය කාන්තාවන්ට රහසින් කළ යුත්තකි. මේ සඳහා වන කතිකාව දින නියම
කිරීම පවා නිවෙස් වල හිඳින බිරියන්ට සහ හා දරුවන්ට රහසින් කළ යුතු බව
සාම්ප්‍රදායික නියමයකි. යාගය නියම කර ගත් දිනයේ ගම්වැසි පිරිමි රාත‍්‍රියේ
තම නිවෙස් වලින් පිටතට එති. ඉන්පසු කපු රාලගේ ප්‍රධනත්වයෙන් වැහිබලිය තනා
ඇති සංහිඳ හෝ දේවාලය ආසන්නයට ගොස් සියලු ම දෙනා ඇඳිවත්, ඇඳුම් උනා
නිරුවත්වෙති. සමහර ප්‍රදේශවල ඉන වටා බැඳි වැල් පටක රැඳ වූ ගස් කොළයකින් පමණක් යන්තම් විළි වසා ගැනීමට අවසර තිබේ. ඉන්පසු සියල්ලෝම මෙම බලිය වට කොට නටති. මේ බලියේ වැහිගම්පල
මුත්තාගේ සේම මුත්තම්මා ගේ රුවක් ද අඹා තිබේ.

මුත්තම්මා යනු වැහිගම්පල මුත්තාගේ අඹුවය. මේ නිරුවත් රැඟුම නිසා වැහි බලියට ‘‘හෙළුවැලි බලිය’’ යැයි ද කියති. ඉන්පසු පොල්කටු උණ බට ආදී නොයෙකුත් දේවලින් ශබ්ද නංවමින් නොසරුප් කවි, යාතිකා කියමින් හා විකාර රූපීව නටමින් එම සංකේත ද සහිත බලිය කඹ, වැල් ආදියෙන් ගැට ගසාගෙන බිම දිගේ ඇදගෙන වැව් පිටිය මැද ඇති වැව් සිඳී ගිය මඩ කඩිත්තට ගෙනයති. දී එහි
මුත්තාගේ බලි රූපය මත මුත්තම්මා ගේ බලි රූපය සතපවා හැකි තාක් අපහාසාත්මක
අසභ්‍ය වදන් කියමින් එම බලි රූප දියවන තුරු ඊට මඩ සහිත දිය ඉසිනු ලැබේ. මෙම කටයුත්ත පිළිබඳව නිවෙස් වල කතුන්ට දැන ගන්නට ලැබෙන්නේ යාගය එකම ඝෝෂාවක් ලෙසින් මතුවන විටය.


මෙම වැහිගම්පල මුත්තා සඳහා වන යාග පිළිවෙත් පලාත් බදව යම් යම් වෙනස් කම්
පළ කරයි. සමහර ප්‍රදේශ වල කාන්තාවන් විසින් ද මෙය සිදු කරන් බව පැවසුණ ද
එහි දී ඔවුන් නිරුවත් වන බවක් පිළිබඳ ව සඳහනක් නැත.
නමුදු වැහිගම්පල මුත්තාගෙන් වැසි ලැබුණු පසු ඔහුට තුති පිදීම පිණිස අලුත
වැඩිවිය පත් හෙවත්”කොටහළු වූ ළමිස්සියන්” අළුත් වැස්සට තෙමෙමින් නැටීමේ
චාරිත්‍රයක් අතීතයේ තිබී ඇත. එමඟින් අස්වනු සරුවී ගේ දොර බතින් බුලතින්
සරු වීම සේම එම යුවතියන් රූමත් ව, ඔවුන්ට සුදුසු සහකරුවන් ලැබී විවාහ වී
දරුපල ලද පසු වඩාත් හොඳින් කිරි බර වීමට පවා හේතු වන බව අතීත ගැමියෝ
විශ්වාස කළහ. ගම්බද යුවතියන් මෙලෙස තෙමෙමින් රැඟුම් දක්වනුයේ මාස් කන්නය
ආරම්භයේ දී ඇද හැලෙන ඉල්වැස්සේ දී යැයි කියනු ලැබේ. ගැමි වහරට අනුව ඉල්
වැස්ස යනු උදය වරුවේ ඇද හැලෙන පොද වැස්සකි. මීට සමාන පූජා නැටුම් ඉල් මහා
මංගල්‍යය නමින් හඳුන්වන පැරණි කාර්තිකෝත්සව වල දී දෙවියන් සතුටු කිරීම
සඳහා යොදා ගැනුණු බව මානව විද්‍යාත්මක ව සනාථ වී තිබේ. වැහිගම්පල මුත්තා සඳහා වෙන් වූ මෙම නර්තනය එම පැරණි පූජා රංගනයේ ශේෂ මාත්‍රයක් වීමට ද පුළුවන. එහෙත්, මෙය කිසියම්
ශිල්පීය ක්‍රමයකට අනුව පුහුණුවක් ලැබු නැටුම් සම්ප්‍රදායක් නොව එකල වැව් ගම්වල ජීවත් වූ සම වයස් වල මල්වර යුවතියන් කිහිප දෙනා බැගින් ඔවුන්ගේ ගෙමිදුල් වලට රැස් වී වැස්සේ තෙමෙමින් විනෝදමත් වීමක් බව මගේ අදහසය. ඊට හේතුව අපට ආසන්නතම ඉන්දියාවේ කතුන් අතර මෙන් අප රටේ අතීත ගම්බද කාන්තාවන් අතර නැටුම් කලාවන් ප්‍රචලිත නොවීම ඊට හේතුව ය.


වර්ෂාව සහ සෞභාග්‍යය පතා සිදු කෙරුණු එකම ලිංගික පූජා චාරිත්‍රය
වැහිගම්පල මුත්තා සඳහා කරනු ලබන වැහි බලි යාගය පමණක් නොවේ. දහහත්වන
සියවසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශිෂ්ට සමාජ විග්‍රහයක යෙදුණු රොබට් නොක්ස්ගේ
විස්තරය අනුව ද අංකෙලිය ද හුදෙක් විනෝදාස්වාදය ලැබිමට වඩා ගමට, රටට, සෙත
ශාන්තිය පතා කරනු ලබන අභිචාරාත්මක ජන ක්‍රීඩාවකි. එහෙත් රොබට් නොක්ස් එම
ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය ද අප සැම විසින් විශේෂ
අවධානයට ලක් කළ යුත්තකි.

“රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත්
ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා නියං, දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ
අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත අශීලාචාර අංගයකුත් තිබේ.
එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන
ඉසව්වකදීය.”

මෙම පැරණි අභිචාරාත්මක අංග නූතන විද්‍යා තාක්ෂණයත් සමඟ නවීකරණයට ලක් වූ
වත්මන් සමාජයෙන් මුළුමනින්ම ගිලිහී ගොසිනි. එහෙත්, සියවස්
කිහිපයක් මුළුල්ලේ තමන් වෙත යොමු වූ ජන අවධානය අහිමි වූ අපගේ පැරණි
වැහිගම්පල මුත්තා නුවර කලාවියේ හත් කෝරලයේ හේන් කුඹුරු අතරට ඇද හැලෙන සෑම
වැස්සක් ආරම්භයේම රොද බඳින වැසි වලාකුළු අතරේ සැඟ වී එම අහිංසක ගොවි
ජනතාව වෙත තවමත් අනුකම්පා සහගත බැලුම් හෙළනු ඇතැ‍යි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

t

o

p