ධම්මික පැණිය කියමින් කෑගල්ල අවට රහසේ විකිණෙන පානයේ සුලමුල මෙන්න

December 27, 2020


කොරෝනා සුව කරන ඖෂධයක් ලෙස ජනතාව අතරේ පදනම් විරහිත  විශ්වාසයක් පැතිර  තිබෙන ධම්මික පැණිය බව පවසමින් කෑගල්ල අවට ප්‍රදේශ කිහිපයක හොර රහසේ යම් පාන වර්ගයක් හෝ වර්ග විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

උඩුකුඹුර, නෙළුම්දෙණිය, අඹේපුස්ස, වරකාපොළ, රඹුක්කන, දන්ඕවිට, මාහේන, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, ඉහළගම, පහළගම, බෙලිගල,
යට්ටෝගොඩ, ඇතුළු ප්‍රදේශ කිහිපයක බීඩි නිෂ්පාදනයෙන් ජීවත් වූ සමහරුන් එම ජීවිකාව අහිමිව අසරණ තත්වයට පත් ව දුම්කොළ සහ සාදික්කා ආදී මත් කාරක යොදා මෙම පැණි නිපදවා බෝතල් කාලක් රුපියල් දහසත් එක් දහස් පන්සියයත් අතර ගණන් වලට අලෙවි කරෙන බවට ද තොරතුරු ලැබී ඇත.මේ ඒ සම්බන්ධයෙන්  ඩී.එම් සුබසිංහ සහ නිසංසලා විජේමාන්න විසින් සකසන ලද වාර්තාවකි.

අප රටේ බීඩි නිෂ්පාදනයෙන් ජීවිකාව ගත කරන වැඩිම පිරිසක් ජීවත් වනුයේ
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ආශ්‍රිතව ය,ධම්මික බණ්ඩාර නමින් පෙනී සිටින අප්පුකුට්ටි කංකානමලාගේ ධනපාල නමැත්තා කාලි ආරූඪයෙන් ලබා ගත් බව කියන වට්ටෝරුවකට අනුව තනන ලද බව කියන එම ධම්මික පැණිය නිෂ්පාදනය කරන ස්ථානය ද වරකාපොල නෙළුම්දෙණිය, උඩුකුඹුරේ පිහිටි අතර එය ද බීඩි නිෂ්පාදනය සම්බන්ධයෙන් නම් දැරූ ප්‍රදේශයකි.සුරාබදු දෙපාර්තමේන්තු කාර්ය සාධන වාර්තා මූලාශ්‍ර වලට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බීඩි හා සුරුට්ටු නිෂ්පාදන ආයතන 521ක් දිවයින පුරා තිබේ.

එම ව්‍යවසායකයන් යටතේ ගෘහ කර්මාන්තයක්  වශයෙන් සිදු කෙරෙන මෙමඟින්  බීඩි ඒකක වශයෙන් ‍කෝටි 450ක් පමණ වාර්ෂිකව
නිෂ්පාදනය කරනු ලැබේ. අද  එක් බීඩියක් අළෙවි කරනු ලබන්නේ රුපියල්
හයක් වැනි මිලකට ය.ඒ අනුව එහි සමස්ත ආසන්න වටිනාකම රුපියල් කෝටි දෙදහස් හත් සියයක් පමණ වේ.

කෑගල්ල ඇතුළු ප්‍රදේශ වල ධනවත් බීඩි ව්‍යාපාරිකයෝ මෙම ප්‍රදේශ වල ජනතාවගේ නිවෙස් වලට ඉන්දියාවෙන් ගෙන්වනු ලබන දුම්කොළ දී ඔවුන් ලවා බීඩි ඔතවා ගනිති.මෙසේ ඔතන ලද එක් බීඩියක් වෙනුවෙන්
ගෙවනුයේ ශත හැටක් වැනි සොච්ච්ම් මුදලකි.ඒ අනුව මෙම රැකියාවෙන් දිනකට රුපියල් දහසක් ඉපැ‍යීමට හැක්කේ දවස මුළුල්ලේම වෙහෙසවන දක්ෂතම බීඩි ඔතන්නෙකුට හෝ ඔතන්නියකට පමණි.මෙම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කම්කරු අන පනත් ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට නැත.

මෙම ධනවත් බීඩි මුදලාලිලා අතරේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු සහ චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ පවුලක් ද වෙති.එහෙත්,පසුගිය රජය විසින් දුම්බීමට එරෙහිව ගනු ලබන පියවරක් ලෙස ඉන්දියාවෙන් ගෙන්වනු ලබන බීඩි දුම්කොළ වෙනුවෙන් අතිරේක ආනයන බද්දක් පැනවීම මෙම බීඩි කර්මාන්තයට එල්ල වූ මරු පහරක් විණි.

ඒ අනුව බීඩි ඔතන ජනතාවගේ නිවෙස් වලට සැපයෙන
දුම්කොළ ප්‍රමාණය සීමා වූ අතර නිපදවන සෑම බීඩියක්ම අලෙවියට සුදුසු
ප්‍රමිතියකින් යුතු වීම බීඩි ව්‍යාපාරිකයන් විසින් විශේෂයෙන් සලකා බලන
ලදී.ඒ අධික මුදලක් ගෙවා ලබා ගන්නා දුම්කොළ නාස්ති වීම වළකා ගනු පිණිස ය.

ඒ අනුව එම ප්‍රදේශ වල ගම් පිටින් එකතු වී කළ බීඩි එතීම අද වන විට ගමක පවුල් කීපයකට පමණක් සීමා වී තිබේ.මෙලෙස තමන්ගේ සුපුරුදු වෘත්තිය අහිමි වූවන් කෙරෙහි කිසිදු රජයක් සැළකිලිමත් නොවීම මත ඔවුන්ගෙන් සමහරු පණ රැක ගැනීම පිණිස ඕනෑම දෙයක් කිරීමට අද වන විට පෙළඹී සිටිති.අප කළ විමසුම් වලට අනුව කෑගල්ලේ මෙම පැණි ජාවාරම ඔවුන්ගේ එම අසරණ කම හා බද්ධ වූවකි.

තම අසරණකම පිළිබඳව ඔවුන් නොයෙක් වර අදාල බලධාරීන් හමුවේ හඬා වැටුණ ද ඉන් කිසිදු පිළිසරණක් ලැබී නැත.අඩුම තරමේ ඔවුන් මුහුණ දෙන දැවෙන ප්‍රශ්නය පිළිබඳව ජනමාධ්‍ය වත් හඬක් නඟා නැත.ඒ ‘බීඩි බීම කොහොමත් හොඳ නැත” යන කෝණයෙන් පමණක් මෙම ගැටළුව දෙස බැලීම නිසා ය.

ඉහත සඳහන් ප්‍රදේශ කිහිපයක සැරිසරමින් හා එම ගම්වැසියන් සමඟ තිබූ පැරණි දැන හැඳුනුම් කම් අලුත් කර ගනිමින් මෙම පැණියේ සුළමුල විමසා සිටි අපට එම දුක්බර කතා පුවත සේම එම පැණියේ වට්ටෝරුව අනාවරණය කර ගැනීමට ද හැකි විය.එය දුම්කොළ,සාදික්කා,ඉඟුරු ආදිය තැම්බීමෙන් සකසා ගන්නා පානයකි.

පසුව ඊට කර කර ගත් සීනි සහ තේ කහට යොදා වර්ණ ගන්වා නිවෙන්න්නට හැර ඊට යීස්ට් එක් කොට පැසෙන්නට ඉඩ හැරිය යුතු ය. පසුදා එම පානය පෙරහන්කඩයකින් පෙරා  බෝතල් වලට පුරවනු ලැබේ.

සැබැවින්ම මෙය දුම්කොළ,සාදික්කා මුසු කිරීම නිසා මත්ද්‍රව්‍යයක් සේම  සීනි යීස්ට් මුසු කොට පැසෙන්නට හැරීම නිසා නිපදවෙන ඇල්කොහොල් මුසු මධ්‍යසාරයකි.එමෙන්ම කොරෝනා ඔසුවක් සේම මත් ද්‍රව්‍යයක්,මත් පැනක් සේ ද යොදා ගත හැකි මෙම පානය නිසි පරිදි සකසා ගතහොත් එය ධම්මික පැණිය බඳුම වන බව ප්‍රදේශ වාසියෙක් අප හා කීය.

එමෙන්ම වරකාපොල නෙළුම්දෙණිය, උඩුකුඹුරේ නිපදවන ධම්මික පැණිය
 එම ස්ථානයේ දී පිට පළාත් වලින් පැමිණෙන්නවුන්ට රහසිගත ලෙස අලෙවි කෙරන අතරේ එය ගම්වැසියන්ට ලබා නොදීම පිළිබඳව ද ලොකු සැකයක් ඇති බව ප්‍රදේශ වාසීහු කියති.

ධනපාල විසින් ධම්මික පැණිය ලෙසින් සිඳිනුයේ එකම පාන වර්ගයක් නොවන බවට අනුමාන කරන ප්‍රදේශ වාසීන් වැඩි දුරටත් පවසා හිඳිනුයේ රුපියල් දහසේ සිට එක් දහස් පන්සියය දක්වා අලෙවි කරන මෙම පැණි
වර්ගයෙන් කොටසක් ඔහුගේ නිෂ්පාදනාගාරයෙන් පිට කරනු ලබන ඒවා ද විය හැකි බව ය.මේ වන විට තම පැණිය මිලියන තුනක් පමණ පානය කොට ඇති බවට ඔහු කළ ප්‍රකාශය මත ප්‍රදේශවසීන් සැක පළ කරනුයේ ඔහුගේ නිෂ්පාදනායතනයෙන් ද කිනම් හෝ පැණියක් රහසිගතව පිට කෙරෙන බවකි.
අප රටේ ක්‍රියාත්මක වන සුරා බදු ආඥා පනත අනුව බලන විට මෙය නිපදවීම,ළඟ තබා ගැනීම,ප්‍රවාහනය,අලෙවිය සපුරා තහනම් කොට ඇති නීති විරෝධී මත්පැන් ගණයට වැටෙයි.

එමෙන්ම මෙතෙක් තමන්ගේ ඖෂධයට රජයේ අනුමැතිය ලැබී නොමැති බව ධනපාල ද මාධ්‍ය හමුවේ කියා ඇත.ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග ඔහුගේ මෙම පැණිය නිපදවන ස්ථානය සඳහා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයකට හිමි තාවකාලික බලපත්‍රයක් ලබා දෙනුයේ ඔය අතරේ ය.ඒ බුද්ධික ලියනගේ නම් උපාධිධාරී ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය වරයකුගේ නමට ලබා දී ඇති එම බලපත්‍රයේ ධනපාල ගේ නම සඳහන් ව ඇත්තේ අයිතිකරු ලෙසිනි.

එවැනි ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයකට හිමිකම් කීමට රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකුට හැර අන් කිසිවකුටත් නොහැකි වීම ඊට
හේතුව ය.නමුදු මෙම බලපත්‍රය හිමි වීම වෙනුවෙන් සතුටු වීම වෙනුවට ඉන් කෝප වන ධනපාල තමන්ට එය පිළිගැනීමට නොහැකි බව පවසමින් මොරදෙන්නට පටන් ගෙන තිබේ.

අප දන්නා අන්දමට ඒ සඳහා බලපාන හේතු දෙකක්ම තිබේ.රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය වරයකුගේ පාලනය,නියාමනය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයක් තුළ නිශ්චිත වට්ටෝරු වලින් තොර ඖෂධ නිපදවීමට අවසර නොමැති වීම ඉන් පළමු හේතුව ය.දෙවන හේතුව වනුයේ තමන්ගේ දේවාරූඪ පැණියට රාජ්‍ය අනුග්‍රහය පවා දෙන බවට රටේ ජනාධිපති වරයා පවා කියා ඇති පසුබිමක එම තාවකාලික බලපත්‍රය වුව පිටස්තරයෙකුගේ නමට නිකුත් කරනුයේ “මොන බම්බුකට
දැ”යි ධනපාල සිතීම ය.

ඒ කෙසේ හෝ මෙම රහස් පැණියේ බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්බන්ධ තවත් කරුණු මෙහි දී අනාවරණය කර ගැනීමට අපට හැකි විය.එහෙත්,ඒවා මෙහි දී විස්තර නොකරන්නේ එය එම පැණිය සම්බන්ධ ප්‍රවර්ධනාත්මක තොරතුරු අනාවරණයක් බැවිනි.මේ තත්වය යටතේ මෙම රහස් පැණිය ලුහු බැඳ යන සුරා බදු නිලධාරීන් හට මෙම ජාවාරමට සම්බන්ධ අන්තිම දුබල මට්ටමේ පුද්ගලයකු දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව
නඩු පැවරීමේ හැකියාවක් ලැබෙනු නිසැක ය.

එහෙත්,බීඩි කර්මාන්තයේ යෙදී සිටි ඔවුන් මෙවන් පරිහානී තත්වයට පත් වීම පිළිබඳ කරුණු විමසීමට සේම මෙම ජාවාරම සම්බන්ධ ප්‍රබල පාර්ශවයක් වේ නම් ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ද සුරාබදු නිලධාරීන්ට නොහැකි බවට සහතික වන්නට අපට පුළුවන.

ඒ සමඟම මෙම පැණි නිෂ්පාදනයේ දී එමඟින් ඇල්කොහොල් සේම මීතයිල් වැනි විෂ රසායනිකයන් ද ඉබේම නිපදවෙන බැවින් මෙවන් පාන වර්ග අධි මාත්‍රාවක් වශයෙන් හෝ දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් සුව කළ නොහැකි අන්ධ භාවය ඇතුළු බරපතල රෝගාබාධ රැසක් හට ගත හැකි බව වෛද්‍යවරු කියති.

ධම්මික පැණිය නමි පිට කෙරෙන පාන වර්ගය පානය කළ කිහිප දෙනෙකුට ද මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ.එවන් පසුබිමක් යටතේ එහි ආයුෂ ඉතා කෙටි විය හැකි වුවද එනමින් පැතිර යන මෙම බිහිසුණු ප්‍රතිඵල ගෙනෙන නීති විරෝධී මත් පැන් වර්ගය අප සමාජය පුරා තව දුරටත් ව්‍යාප්තවීමේ පැහැදිලි අවදානමක් ද තිබේ.

t

o

p