මේ දිනවල කෑගල්ල අවට රහසිගත “පැණි” ජාවාරමක්!

December 24, 2020


               කොරෝනා සුව කරන ඖෂධයක් ලෙස ජනතාව අතරේ ප්‍රචලිත ව පවතින
ධම්මික පැණිය ලෙස  හඳුන්වන පාන වර්ගයක් කෑගල්ල අවට ප්‍රදේශ කිහිපයක බෝතල්
කාලක් රුපියල් දහසත් එක් දහස් පන්සියයත්  අතර ගණන් වලට හොර රහසේ විකිණීමේ
ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබෙමින් තිබේ.

උඩුකුඹුර, නෙළුම්දෙණිය, අඹේපුස්ස, වරකාපොළ, රඹුක්කන, දන්ඕවිට, මාහේන, නැව්ගල,
ඇත්නාවල, දුම්මලදෙණිය, ඉහළගම, පහළගම, බෙලිගල, යට්ටෝගොඩ, ඇතුළු ප්‍රදේශ
කිහිපයක බීඩි නිෂ්පාදනයෙන් ජීවත් වූ සමහරුන් එම ජීවිකාව අහිමිව අසරණ
තත්වයට පත් ව දුම්කොළ සහ සාදික්කා ආදී මත් කාරක යොදා මෙම පැණිය නිපදවා
අලෙවි කරෙන බවට ද තොරතුරු ලැබෙමින් තිබේ. 

එම ධම්මික පැණිය නිෂ්පාදනය කරන ස්ථානය ද වරකාපොල නෙළුම්දෙණිය, උඩුකුඹුරේ පිහිටි අතර එම  ස්ථානයේ සේවකයන් ලවා ගෙන්වා ගත් බව පැවසෙන මෙම පැණි මිල දී  දී ගැනීමට කොළඹ මහනුවර ආදී ප්‍රදේශ  වලින් පවා පිරිස් පැමිණෙන බව වාර්තා වෙයි.


කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වරකාපොල
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ වරකාපොල පොලිස් ස්ථානාධිපති යන නිලධාරීන්ගේ
නියෝග මත මෙම පැණිය නිෂ්පාදනය කරන ස්ථානයේ බෙදාහැරීම නතර කොට ඇති බවට
දැන්වීම් පුවරු පවා සවි කොට ඇතත් “පස්සා දොරින්” එම පැණිය ලබා ගත හැකි
බව ප්‍රදේශ වාසීහු කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උඩුකුඹුර ගම්වාසීන් පවසනුයේ එම පැණිය නිපදවන බව පවසන ධම්මික බණ්ඩාර  සහ ඔහුගේ සගයන් පිටතින් පැමිණෙන පුද්ගලයන් සඳහා එම පැණිය හොර රහසේ විකුණන මුත් එය ගම්වාසීන්ට ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ය. මේ තත්වය යටතේ ප්‍රදේශවාසී තරුණ පිරිස් අවස්ථා කිහිපයකදීම ධම්මික බණ්ඩාර ගේ සහායකයන්ට පහර දීමට සැරසී තිබේ.


සාදික්කා සමග දුම්කොළ සහිත මත්කාරකයක් බව පැවසෙන එම පැණිය ධම්මික බණ්ඩාර
ගේ දැනුවත්කම ඇතිව හෝ නැතිව ඉන් රහසිගතව පිට කෙරෙන ඔහුගේම පැණියක් ද යන්න
මෙතෙක් තහවුරු වී නැත. ඇතැම් විට ඒ නමින් නිපදවා ඇති වෙනත් දේ ද ධම්මික
පැණිය කියා රහසේ විකිණිය හැකි බවට තොරතුරු තිබේ. නමුදු අද වන විට තමන්ගේ
පැණිය මිලියන තුනක පමණ ජනතාවක් පානය කරන ලදැයි ධම්මික බණ්ඩාර කරන ලද
ප්‍රකාශයක් මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ අතර එම ප්‍රකාශයට අනුව නම් එහි රහසිගත ව්‍යාප්තියක් ද තිබිය යුතුම බව ද ප්‍රදේශ වාසීහු කියති.
ඩී.එම් සුබසිංහ

t

o

p