අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කරඇති පැමිණිල්ලට අදාළව කරුණු පැහැදිලි කර ගැනීමට එම නඩුව ජනවාරි 12 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කළේය.
මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරයි රාජා යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවනු ලැබීය.
නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ මෝසමකට අනුව එම පැමිණිල්ල අද කැඳවා තිබිනි. එහිදි පැමිණිල්ලට අදාළ වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම සඳහා එය ජනවාරි මස 12 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.
2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳ හෙළීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.