එ.ජා.පයෙන් ගිය අයට එරෙහි විනය පරික්ෂණ යළි ඇරබෙයි

December 17, 2020

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව ආරම්භ කොට ඇනහිට තිබු  සියලු විනය පරීක්ෂණ යළි ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹුණේ එජාප නීති අංශය  පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙනය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ මහජන නියෝජිතයන්ට හා පක්ෂ  ක්‍රියාකාරීන්ට එරෙහිව මෙම විනය  ක්‍රියාමාර්ග ඇරැඹූ මුල් අවස්ථාවේදී කොරෝනා වසංගත තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ඉදිරි පියවර ගැනීම අත්හිටැවිණි.

පක්ෂයට එරෙහිව ක්‍රියා කළ සියලු මහජන නියෝජිතයන් හා ක්‍රියාකාරීන්ට එරෙහි විනය පරීක්ෂණ යළි අරඹන බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගයට එක්ව සිටින අතර එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයේ ද සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව මේ විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙතියි නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට ස.ජ.බ ට සහාය දුන් පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ට එරෙහිව පැවැත්වෙන නඩු කටයුතු ද යළි ඇරබෙන බව ඔහු කීවේය.

සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වූ ඇතැම් අය පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇති බවද එජාප නීති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p